පහුවදා උදේ නැගිටිනකොට ඉර පෙනෙනතෙක් මානෙකවත් නැහැ. වැහි අඳුර ගෙනාවේ හරිම පාළු මුස්පේන්තු බවක්. ගමන් මහන්සියත් ටික ටික දැනෙන්න පටන් ගෙන. ජොනතන්ගේ පැණි බේරෙන wake up call එකත් මේ වෙද්දි නිතර දෙවේලේ අඬලන කුකුල් කරච්චලයක් වගේ වෙලා මට.
උදේ කෑමට ගියහම ඒවත් එකම වගෙයි පෙනෙන්නේ. t.b. ෆිලිපීන ජාතික කාන්තාවක්. නැවේ වැඩ කරන කාර්යමණ්ඩලය කිහිපදෙනෙක්ම ෆිලිපීන ජාතිකයන්. මේ අයට නැවේ මුළුතැන්ගෙය භාර ලොක්කත් අයිතියි. ඒ නිසා අපිට හැම වෙලාවේම විශේෂ සැලකිල්ලක් ලැබුණා. කන්න බෑ කිව්වහම විශේෂ කෑමක්, නැවේ කාර්යමණ්ඩලය ට වෙනම මොනවා හරි හැදුවොත් අපෙන් අහලා අපටත් කොටසක් දෙන්න තරම් එයාලා අපිට ආදරේ වුණා.
මුල්ම දවසේ නැවේ චලනය සමග ඇතිවන අපහසුතාවට අත් බෙහෙතක් විදිහට හෙමිහිට පොඩ්ඩ පොඩ්ඩ කොළ ඇපල් කන්න කියලා උපදෙස් දුන්නෙත් මෙයාලා. එදා ඉඳලා හැමදාම උදේට හවසට අපේ කාමරයට අළුත්ම අළුත් පාට කොළ ඇපල් දෙක ගානේ පහල වෙනවා. අදටත් ඒ ඇපල් සුරංගනාවී කවුද කියන්න අපි දන්නේ නැහැ.
නැව Neptune's Bellows ඕඩයෙන් Port Foster කියන ප්‍රදේශයට ඇතුල් වෙන හැටි බලන්න පුළුවන් නැව් තට්ටුවට ආවොත් කියලා උදේම ජොනතන් කිව්වත් සීතල ලොකුයි මහ මුදලිකමටත් වඩා කියලා මම නම් තව ටිකක් ගුලි ගැහුනා ඇඳේ. පින්තූර ගාය තියෙන උනන්දුවෝ ටික නම් හොර කසිප්පු පොළට පොලිසියෙන් පැන්නා වගේ දුවනවා ඇහුනා.
කම්මැලි කමින් නැගිටලා කාලා බීලා ලෑස්තිවුනා තවත් ගොඩ බැසීමකට. මේ වෙනකොට දුවගෙන ගිහින් යන ඩිංගියේ එල්ලෙන්නත් පුළුවන්. ඒ තරමට ඒවට නැගලා බැහැලා පුරුදු වෙලා.
මේ අපේ තුන්වෙනි ඇන්ටාර්ක්ටික් මහද්වීපයට ගොඩ බැසීම. Waterboat point කියන තැන චිලී රටට අයත් පර්යේෂණ මධ්‍යස්ථානය Gonzalez Videla Station ට. මෙතන සෙනග ඉන්නේ ගිම්හාන කාලේ විතරයි ඒකත් ඔහේ ආවාට ගියාටලූ..... අපි යනකොට එතන පර්යේෂනගාරය වහලා. මෙතැන් ප්‍රදහාන වශයෙන්ම නැව් වලට බොන වතුර සපයන තැනක්. ග්ලැසියර් දියවෙලා එන වතුරවල.ලුණු රස නැති එක තමයි හේතුව.
චිලී රටේ ආමි එකේ කිහිපදෙනෙක් එතන වැඩ. කතා කරන්න ඕනේ වුණත් අතින් පයින් තමයි. නොදන්න ස්පැනිෂ් වලට ගිහින් වරිගේ නහගන්නේ මොකටද? 'ඔලා" " කොමොස්ටාස්" "බුවෙන්" "ග්‍රාස්සියාස්" විතරයි කට ඇරලා කිව්වේ. ඉතුරු හරිය ඇස් කොණින් බැලුම්, කට කොනින් මඳ සිනහා, හොරෙන් හිනා, අතින් පයින් ඔළුවෙන් කතා විතරයි. අනේ ඉතින් ඒවගේ ඇහැට කනට පෙනෙන සෝල්දාදුවෝ රටේ ඉන්න කෙල්ලන්ට වාසනාවන්....
දවල් කෑමට පස්සේ අපි ගොඩ බැස්සේ Almirante Brown Station එකට. මේක උදේ ගිය තැනට ඉතාම ළඟයි. නමුත් අයිති ආර්ජන්ටිනාවට. Paradise Bay එහෙමත් නැත්නම් Patadise Harbour එකේ පිහිටලා තියෙන්නේ. Brown Station එකේ ඉඳලා කන්ද උඩට නැග්ගහම මුළු Paradise Bay එකම බලන්න පුළුවන්. මේ සංචාරයේ නම දැකපු ලස්සනම භූමි දර්ශනය තිබුණේ මෙතන. වතුර නිශ්චලයි බැලූ බැලූ අත හිම මිදුන කඳු. කිසීම ප්‍රශ්නයක් නැතුව එතනට වෙලා දවස් ගණනාවක් තට්ට තනියම ඉන්න පුළුවන් කියලා හිතෙන තරමේ තැනක්. ඒ දර්ශනයේ සුන්දරත්වයට අපි ඉබේම නිශ්ශබ්ද වුණා. කිසිම හේතුවක් නැතිව ඇස් වලට කඳුලු ඉනුවේ ඇයි කියන්න මට අදටත් බැහැ. එතැනින් වැටිලා මැරුණත් කිසිම දුකක් නැහැ කියලා හිතුණ එකම අවස්ථාව මේ. ශාන්තිය කියන දේ, කිසිම හැඟීමක් නැහැ, ආසාවක් නැහැ කියන න්‍යාය තේරුම් ගිය තප්පර කිහිපය මේ. දැනුන හැඟීම තේරුම් කරන්නවත් තේරුම් ගන්නවත් බැරි ඉතාමත්ම ගුප්ත මොහොතක් ඒ විනාඩි කිහිපය.
මෙතනින් බැහැලා එද්දී මම මෙලොවට ආවේ පෙන්ගුවින් බහිස්ශ්‍රාවිය ද්‍රව්‍ය හෝදාගෙන ගලා යන වතුර පාරක් උඩ ලිස්සලා පස්ස බිම ඇනගත්තට පස්සේ. පුරුදු පරිදි මම තමයි ආරම්භකයා....
ඊළඟට අපි Skontorp Bay එකේ බෝට්ටු සවාරියක් ගියා. ඒ යනකොට ගල්බෝර දානවා වගේ සද්ද සැරින් සැරේ ට ඇහෙනවා. ඒ ගිම්හාන කාලයේ දියවෙන අයිස් කුට්ටි පුපුරන සද්දේ. මේ සවාරියේදී ආයෙත් අයිස් කඩාගෙන වැටෙන හැටි බලන්න පුළුවන් වුණා. අපේ බෝට්ටුවට අපි පාවෙන අයිස් කුට්ටියක් පටවගත්තා. රෑට ඒක අපේ නැටුම් තෙල්වලට දාන්න ගන්න කියලා තමයි කිව්වේ.
ග්ලැසියර් අයිස් දාලා බිව්ව නැටුම් තෙලේ බලේ ඊළඟ කොටසින් බලාපොරොත්තු වන්න.....
+++++++++++++++ ලස්සනයි...පැනොරාමික් කැප්චර්ස් ටික නම් මරැ..
ReplyDeleteස්තුතියි
ReplyDelete