Monday, May 27, 2019

ඇන්ටාර්ක්ටික් සංචාරය - 2


යුෂුවායා ඇවිත් Arakur Resort and Spa එකට එනකොට මගේ travel buddy ගේ බඩට ටිකක් සනීප මදි. කෑම බීමක් ගන්නත් පිරියක් නෑ කියාගෙන තමයි කොහොමත් යුෂුවායා එන්න පිටත් වුනේ. අපි යුෂුවායා එන්න කළින් දවස් තුනක් ආජන්ටිනාවේ බුවෙනෝස් අයරෙස් නැවතිලා හිටියා. කෑව තරමක් කෑවේ කඩචෝරු.
මගේ ඇන්ටාර්ක්ටික් ගමන යුෂුවායා වලින් පටන් ගන්න තිබුණේ  පහුවදා හවස හතරට නිසා t.b. ට (t.b. යනු travel buddy කෙටි කිරීමක් මිස ක්ෂයරෝගය නොවන බව කරුණාවෙන් සලකන්න. මින් පසු ඇය t.b. ලෙස හඳුන්වමි) rest එකකුත් ලැබෙනවා. නමුත් මේ තත්ත්වය යටතේ එයාව දාලා යන්නත් මගේ හිතට හරි නැහැ. හැබැයි දවසම ඉතිරි වෙලා තියෙද්දි හෝටලේට වෙලා ඉන්න කිසිම ආසාවක් තිබුණෙත් නැහැ.
t.b. කිව්වේ එයාට නිදාගන්න අවශ්‍යයි කියලා. මම යන හැමතැනම පොඩි ප්‍රථමාධාර කිහිපයක් අරගෙන තමයි යන්නේ. මම එයාට විජලනය පාලනය වෙන්න බීමක් හදලා නිදාගන්න කියලා පොඩ්ඩක් හෝටලයේ වටේ රවුමක් ගහන්න තීරණය කළා.
හෝටලය වටේටම කැලෑව. මේ කෑලාව සංරක්ෂිත වනාන්තරයක්. කැලෑව ඇතුලේ අඩිපාරවල් නිල්, කොළ සහ කහ සළකුණු වලින් ළකුණු කරලා තියෙනවා ගිහින් ඇවිදලා එන්න පුළුවන්. Reception එකෙන් මේකේ සිතියමකුත් අරගෙන ඔන්න මාත් පිටත් වුණා ඇවිදින්න යන්න කැලේ.



දක්ෂිනාර්ධගෝලයේ ගිම්හාන කාලය නිසා ඉර බහින්නේ බොහෝම පරක්කු වෙලා. ඒකත් මගේ වාසියට හිටියා.
උෂ්ණත්වය බොහොම අඩු නිසා ඉහේ සිට ඔතාගෙන මුහුදු මට්ටමේ සිට මීටර් 250ක් විතර ඉහලින් තියෙන කැලෑවේ තනිපංගලමේ යන්න පිටත් වුණා. මගේ තනියට මාත් නොදැන ආරක්ෂාවට නවාතැනෙන් ස්වේච්ඡාවෙන්ම කෙනෙක් ඇවිත්. අනේ ඉතිං එයා මට ඉස්සරවෙලා දුවනවා. පොඩ්ඩක් නැවතිලා මම එනකන් බලාගෙන ඉන්නවා. මම ළං වුනහම ආයෙත් ඉස්සරවෙලා දුවනවා. අන්තිමට මම ඇවිදින්න කියලා හිතාගෙන ගිය පාර අමතක කරලා වැඩේ ලේසි නිසා මේ ගයිඩ්තුමාගේ පස්සෙන් ගියා.
මේ කැලෑවේ ගෝන්නු විතර විශාල සත්තු විශේෂයක් ඉන්න බවක් තමයි නිගමනය කරන්න මට සිදු වුණේ පාර පුරාම තිබුණ උණු උණු, දුම් දාන, අළුතෙන් බාපු ගොඩවල් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව. ගයිඩ්ගෙන් යමක් අහන්න විදිහක් නෑ මොකද එයා ඇවිත් තියෙන්නේ ශරීරසුවතා වැඩසටහනකට.
ඉස්සෙල්ලාම මෙයා මාව අරගෙන ගියේ කැලෑවේ තියෙන lookout එකකට. එතන ඉඳලා බැලුවහම Alarken's මුදුන සහ එය තියෙන කඳුපන්තිය හොඳින් බලා ගන්න පුළුවන්. කොටින්ම කිව්වොත් පැනොරාමික් විව් එකක්. එතැන ලස්සන පින්තූර වලින් වත් වචන වලින් වත් විස්තර කරන්න උත්සහ කරන එක කිසිම තේරුමක් නැහැ.



එතැන නිසන්සලේ ගත කළ කාලය භාහිර ලෝකය, වෙලාව, දවස, වගකීම් යන හැමදේම අමතක කරවන්න තරම් බලවත් වුණා. කල්පනාවකින් තොරවම හිටි තැනින් නැගිට්ටේ ඒ වෙද්දි මගේ ආරක්ෂකයා පොඩ්ඩක් නොසන්සුන් වෙන්න ගත්ත නිසයි.

අපි දෙන්නා ආයෙත් අපේ ගමන් පටන් ගත්තා. ආයෙත් පුරුදු විදිහටම මෙයා ඉස්සරවෙලා යනවා. මම හ්ම් නොකියා පස්සෙන් යනවා. මෙයා ආවා දෙවෙනි නැවතුමට. එතන ඉඳලා බලද්දි යුෂුවායා වරාය, බීගල් ඕඩය, යුෂුවායා නගරය පැහැදිලිව පහලින් පෙනෙනවා. එතනත් වෙලාවක් කලාවක් නැතිව ඔහේ බලාගෙන හිටිය මට ආපහු නවාතැනට යන්න ඕනේ කියලා මතක් වුණේ ඉතාම තියුණු කුරුළු නාදයකින්.



ඉඳගෙන හිටි තැනින් නැගිටලා බලද්දි මාව එතැනට එක්ක ආව "වල් බල්ලා" tour guide ආගිය අතක් නැහැ. යන්න පාර ළකුණු කලාට ඒක වැහෙන්නම කටු පඳුරු. ආපහු යන්න පාරක් හොයා ගන්න පෙනෙන්නෙත් නෑ.
හිත කලබල වුණත් කරන්න කිසිම දෙයක් නැහැ. වාසනාවට ඉර තවම බැහැලා නැති එක විතරයි එකම සහනය. හිත හදාගත්තා.
"මොනවා උනත් මම ඇවිදින්න ආවා කියලා නවාතනේ අය දන්නවා"
"මෙතැන තියෙන විදිහට සෙනග ඉඳලා හිටලා හරි යන එනවා ඇති"
"කෝකටත් පොඩ්ඩක් ඇවිදලා බලනවා" ආව පැත්ත හීනෙන් වගේ මතකයකුත් තියෙන නිසා.
බල්ලට බැනලා වැඩක් නැහැ. බල්ලා සමග යන කාන්තාව වගේ ගියා නම් මැක්කෝ එක්ක තමයි ආපහු ගමන.
ටික දුරක් යද්දි ගහක ගහපු කහපාට කොළ කෑල්ලක් දැක්කා. ඇඟට එවෙලේ උණපු ලේ ටික දන් දුන්නා නම් අඩුම ගානේ දහ පහලොස් දෙනෙක්ගේ වත් ජීවිත බේරාගන්න තිබුණා. දැන් ඉතින් හරි. මම ගමන පටන් ගත්තා. ආයේත් අමතකයි වෙච්චි අකරතැබ්බේ. දකින දකින අතුරු පාරවල්, වගුරු බිම් වල ඇවිදලා තවත් සෑහෙන වෙලාවකට පස්සෙ හෝටලේට ආවේ හොඳටම හෙම්බත් වෙලා.

මේ කැලය හරිම අමුතු වෙනස් විදිහක කැලයක්. ගස් ඉතාම උසයි. හරිම ගුප්තයි. පොඩි මීදුම ගතියකුත් තිබුණා කැලය ඇතුලේ එදා නම්. කූඩැල්ලෝ දෙයියනේ කියලා එකෙක් හිටියේ නෑ. අක්කර දෙසිය ගණනක් විශාල.කැලයේ වගුරු බිම්, කඳු, මිටියාවත් හැම දෙයක්ම තිබුණා. ඉතාම පහසුවෙන් දවස ගෙවන්න පුළුවන් කිසීම බාධාවක් නැතිව. මට ඇවිදින හැම වෙලේම මතක් වුණේ රොබින්හුඩ් සහ ෂර්වුඩ් කැලය. කොයි වෙලාවේ හරි හර්න් මතුවෙයි කියන හැඟීම තමයි මට දැනුනේ.
හෝටලයේ දොරකඩ ඉඳගෙන නැට්ට වනවන හිනාවෙවී හිටියේ කවුද ....
එයාගෙත් ඔළුව අතගාලා සිංහලෙන් ම දෙකක් කියලා මම ගියා මගෙ කාමරේට පහුවදා ගමනට ලෑස්ති වෙන්න.
- මතු සම්බන්ධයි -

No comments:

Post a Comment