ගෙදරට ගෙනාව ටී. වී. එක අවුරුදු දෙකක් ම පැකින් එක්ක කාමරේකට දාලා තියලා "ඒක යාලුවෙක් ගේ, අපට ටී.වී.ගන්න සල්ලි නැහැ" කියලා කියපු දෙමව්පියන් යුවලකගේ එක දරුවෙක් මම. ටී වී. එක එළියට දැම්මේ මට මතක විදිහට මම ශිෂ්‍යත්ව විභාගය කළාට පස්සේ.
මොන එහෙකට මාව ඒ අභාගේ ලියන්න දැම්මද මංදා. මම ඉගෙනගත්තේ ඉතාම ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලෙක. ශිෂ්‍යත්වය පාස් වෙලා වෙන යන්න එකකුත් නැහැ. ඔන්න ඕවට තමයි නටපු නැටුමකුත් නෑ බෙරේ පළුවකුත් නෑ කියන්නේ.
ඉතිං ඔය ටී.වී. එක එළියට දැම්මත් බොහෝම වාරණ නීති මැද තමයි බලන්නේ. ඒකාලේ ඔය දැන් පෙන්වන ජාතියෙ ඒවා පෙන්නුවා නම් තාත්තා ඔය ටී.වී. එක ආපහු පෙට්ටියට දාලා "අපේ නෙවෙයි" කිය කියා ඉන්නත් ඉඩ තිබුණා.
බලන්න ඉඩ දීලා තිබුණේ වාර්ථා වැඩ සටහන් විතරයි. ඒත් පැයකට වඩා බැහැ. ඩේවිඩ් ඇටෙන්බරෝ ගේ වැඩසටහන් අපි බොහොම ආසාවෙන් බැලුවා. මගේ ලෝකේ පුරහා රස්තියාදු ජීවිතේට අඩිතාලම දැම්මේ එතුමා.
ගැලපගෝස් දූපත්, ඇන්ටාර්ක්ටික් මහද්වීපය, අප්‍රිකානු මහද්වීපය මගේ සිහින ඒ කාලේ ඉඳලම. ඇන්ටාර්ක්ටික් සිහිනය සැබෑ වුණා 2017 වසරේ. ගැලපගෝස් 2018.
උඩ පැනලා පිනුම් ගහලා ඇන්ටාර්ක්ටික් යන්න ලෑස්ති වුණාට හුඟ දෙනෙක් යන තැනක් නෙවෙයි. ඒ නිසා විස්තර හොයාගන්න ටිකක් අපහසු වුණා අනිත් සංචාරයන්ට වඩා.
ගූගල් දෙයියො ඉන්නකම් අපි සැලෙයි කියලද.
අවුරුද්දක් පුරාවටම මේ ගමන ගැන විස්තර හෙව්වා, ගමන ප්ලෑන් කලා. බලන්න කැමති මොනවද කරන්න තියෙන්නේ මොනවද මෙකී නොකී කරුණු රැස් කලා..
"ඔන්න ඔය ඔළුව ෆ්‍රීසරේට දාලා පොඩ්ඩක් බලා ඉන්නවකෝ, ඇන්ටාර්ක්ටික් ගියා වගේ තමයි. ඔය පරණ මාළුත් ඇති ඩයිනොසෝරයෝ වෙලා ඕක අස්සේ"
"ඔය අයිස් වල මොනවා බලන්නද?"
"පිස්සුද හලෝ සීතලේ මැරෙන්න යන්නේ"
අනිත් අය කියන ඒවා අහලා ඒ විදිහට හිටියනම් අද මම..... නෑ එක්කෝ ඒවා ඕනේ නෑ.
ගිම්හාන කාලෙත් දක්ෂිනාර්ධගෝලයේ උෂ්ණත්වය සෙල්සියස් රින විස්සත් හතලිහත් අතර හැබැයි දවස පුරාම ඉර එළිය. මට අනිත් අයට සාපේක්ෂව සීතල දැනෙන්නේ අඩුවෙන් වුනත් රින වලට ඔරොත්තු දෙන්න නම් හොඳට ලෑස්ති වෙන්න වුණා.
මේ ගමනට register වෙද්දි අපිට ඉතාම ගනකම jacket එකක් (parka) තියා ගන්නම දෙනවා. ඒ වගෙම gumboots දෙකකුත් දෙනවා. ඒක නම් ආපහු දෙන්න ඕනේ ගමනේ අවසාන දවසට
ඇන්ටාර්ක්ටික් යන්න පුළුවන් ඔස්ට්‍රේලියාවෙන් හරි ආර්ජන්ටිනාවේ යුෂුවායා වලින් හරි. යුෂුවායා වලින් පිටවෙලා යන නැව් ගමන හොඳ අත්දැකීමක් කියල reviews වල තිබුණ නිසා ඒක තෝරාගත්තා.
කවදා හරි දවසක ඔස්ට්‍රේලියාව පැත්තේන් යන ඇන්ටාර්ක්ටික් ගමනත් මම යනවා.....
ඇන්ටාර්ක්ටික් සංචාරයක් කිව්වට මේ ගමන.බොහෝ විට මහද්වීපයෙත් ඉතාම පොඩි කොටසක විතරයි යන්නේ. කොටින්ම Antarctic Peninsula තමයි මේ සංචාර වැඩි හරියක කෙරෙන්නේ. ඊට වැඩිය යන්න හිතුවොත් ගේදොර දේපල විතරක් නෙවෙයි මුළු ගමත් විකුණන්න වෙයි ගෙවන්න. ඒ කරලත් පණපිටින් එයිද කියන්න දන්නේ නැහැ.
ඇන්ටාර්ක්ටික් යන්න හිතනවා නම් ඇවිදින්න කරන්න පුළුවන් කාලේ යන්න. ආසාවට මේ ගමන ආව සංචාරකයෝ දෙන්නෙක් හිටියා. ඒ දෙන්නට කිසිම වෙලාවක නැවෙන් බැහැලා කළ සංචාර වලට සහභාගි වෙන්න බැරිවුණා. එක්කෙනෙක් මහත වැඩියි. අනිත් එක්කෙනාට වයසත් එක්ක ඇවිදින්න හොඳටම අමාරු කෙනෙක්. නමුත් බකට් ලිස්ට් එක ටික් කරන්න ආවා කිව්වා කික් ද බකට් එකට කළින්.
මේ ගමනේදී දවසට දෙපාරක් හෝ තුන්පාරක් අපි නැවෙන් බැහලා පොඩි ඩිංගි බෝට්ටුවල (Zodiac) නැගලා ගොඩබිමට ගියා. මුළු ගමනේම අපේ නවාතැන වුණේ නැව. නැව ඇතුලේ ඉන්නකොට කිසිම වෙලාවක ඉන්නේ උෂ්ණත්වය සෙල්සියස් රින විසි තිස් ගණන්වල කියන එක දැනුනේ වත් නැහැ.
නැවේ මගීන් 114 ක් සහ කාර්යමණ්ඩලය 98 ක්. මේක නැවක් කිව්වට බොහොම පොඩියි. මහ විසාල සංචාරක නෞකාවල ගියහම ගොඩබිමට යන්න බැහැ මගී සංඛ්‍යාව 2000 ඉකමවන නිසා. එක වරකට මගීන් දහසයක් විතරක් දාන්න පුළුවන් ඩිංගි කීයක් ඕනේ වෙයිද.... ඒ සමගම දෙතුන්දාහක් සෙනග නැවෙන් බාන්නයි පටවන්නයි යන වෙලාව.... අනිත් එක තමයි පොඩි නෞකාවක් රිංගන හැම අහුමුල්ලකම ලොකු නැව් වලට යන්න බැහැ. ගෑණුන්ගේ පින කුණු මුල්ලේ වගේ, ඇන්ටාර්ක්ටික් මහද්වීපයෙත් සුන්දරම තැන් තියෙන්නේ සැඟවෙලා. ඒ නිසා පොඩි නැවක් තමයි හොඳම.
මම තෝරාගත්තේ පොඩි වුණත් මදක් සුඛෝපභෝගි ගනයට ගැනෙන නැවක්. ඒ නිසා හැම කාමරයකටම වෙන් වුණු room boy කෙනෙක්, හැමදාම හවසට නිදියන්න එද්දි කොට්ටේ උඩ තියපු chocolate, ඕන වෙලාවක කන්න පළතුරු බෝල් එකක්, ගොඩබිමට ගිහින් එද්දි බීමත් එක්ක කෙටි කෑමක්, hot towel, උදේට කාලා එනකොට, රෑට නිදියන්න එනකොට ඇඳ ලස්සනට හදලා..... එහෙම සැපක් අම්මපා.....
පොඩි සංඛ්‍යාවක් නිසා කාර්යමණ්ඩලය, මගීන් සහ tour guides හුඟාක් සමීප වුණා මේ ගමනෙදී. මමත් ඒ නැවේ හිටිය පොඩි එකියන් තුන්හතර දෙනාගෙන් එකියක්. අනිත් එකියන්ට වඩා ඉතාම හොඳින් නම තියාගෙන, කාර්යමණ්ඩලය එක්ක හිනාවෙලා කතා කරලා හිටිය නිසා තවත් සැලකිලි වැඩීයි.
යුෂුවායා පිළිගන්නේ ලෝකයේ අන්තය කියලා මොකද දකුණු ඇමෙරිකාවේ අන්තිම කොණේ තියෙන පුංචි සංචාරක නගරයක්. මම මේ ලෝකයේ වැඩියෙන්ම ආදරය කරන නගරය. හේතුවක් කියන්න බැහැ. "ලව් ඇට් ෆස්ට් සයිට්" තේරුම් ගත්තේ මේ නගරයට ගොඩබැහැලා මම නැවතුණ හෝටලයට (Arakur Resort and Spa) ගිය වෙලාවෙ. කන්දක් උඩ තියෙන අතිශයින්ම සුන්දර නවාතැන්පොළක්. සම්බෝලයි බතුයි කාලා ඉන්න මෙතනට යමු කියන ඕනෙ කෙනෙක් එක්ක මෙතෙන්ට එන්න ඕනේ වෙලාවක මම ලෑස්තියි.
මගේ එකම ආදරය කියලා හිතපු නවසීලන්තයේ Queenstown ට ද්‍රෝහි වුණා යුෂුවායා ආව දවසේම......
මතු සම්බන්ධයි .....
No comments:
Post a Comment