Monday, May 27, 2019

ඇන්ටාර්ක්ටික් සංචාරය - 4


මේක මගේ පළමු බහු දින නාවුක සංචාරය. බෝට්ටු වල කොයිතරම් ගියත් මේක සම්පූර්ණයෙන්ම වෙනස් අත්දැකීමක්. කළින් දවසේ රෑ උපදෙස් මාලාවක් දුන්නත් වට පිට සිරි නරඹ නරඹ හිටිය මගෙයි, t.b. ගෙයි ඔළුවලට මෙලෝ ඉටිගෙඩියක් ගිහින් තිබුණේ නැහැ. අපි දෙන්නම එහෙන් මෙහෙන් වචන කිහිපයක් විතරයි ඔළුවට දාගෙන තිබුණේ. අන්ධයා කොකාගේ පාට කිව්වා වගේ තමයි අපි දෙන්නා මුල පැය කිහිපය ඇතුළත.
නෞකාව ගමන් අරඹන්න කළින් අපට කියලා දුන්නා නැවට අකරතැබ්බයක් වුණොත් මගීන් විදිහට අපි කොහොමද අපේ ආරක්ෂාව සලසා ගන්නේ කියලා. හැම කාමරේම එකාට එක ගානේ ජීවිතාරක්ෂක කබායන් තියෙන තැන, ඒක ඇඳගන්න විදිහ, ජීවිතාරක්ෂක බෝට්ටු තියෙන තැන්, නැවෙන් පිටවෙන්න කියලාම අඬවන සංඥා එහෙම කියලා දුන්නා. අපට පැහැදිලිවම කියපු දෙයක් තමයි මේ ගමනේදී නෞකා අනතුරකින් ජීව්තාරක්ෂක බෝට්ටුවලට නගින්න වුණොත් මැරෙන්න තියෙන ඉඩකඩ වැඩිම සීතල නිසා මිසක් වෙන දෙයකින් නොවන බව. ඒ නිසා හැම වෙලේම සපත්තු දාගෙන, පුළුවන් තරම් උණුසුම් ඇඳුම් ඇඳගෙන තමයි පණ බේරා ගන්න නැවෙන් බෝට්ටුවලට නගින්නේ. අන්තිමට අපිට කිව්වේ ඊළඟ පැය කිහිපය ඇතුලත trial evacuation එකක් කරනවා. ජීවිතාරක්ෂක බෝට්ටුව ට නගින කොටස හැර කියලා.
අපි අපේ කාමර වලට ගියා කාමරය පිළිවෙලකට හදා ගන්න. මම ගත්තා ජනේලය ළඟ ඇඳ. t.b. ට අනිත් ඇඳ. මොනවා උනත් t.b. දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් නිසා මට ඔය වගේ අවස්ථා කිසිම ප්‍රශ්නයක් නැතිව ලබා දෙනවා.

ඇඳ තෝරාගෙන ඇඳුම් සහ අනිත් බඩු මුට්ටු එළියට අදින කොටම මෙන්න බොලේ නැව ගිලෙන සංඥාවක් වදිනවා. ඉතිං මැරියංකෝ මේ ගමන පටන් ගත්ත ගමන්..... අපි දෙන්නත් ඉතිං ජීවිතාරක්ෂක කබා දාගෙන එහෙම ගියා නැව් තට්ටුවට. දැන් ඉතින් දෙයියනේ කියලා වතුරට පනින එකයි කියලා හිතුවට එහෙම නැහැ. සියළුම මගීන් සහ කාර්යමණ්ඩලය සීතලේ ගැහි ගැහි නැව් තට්ටුවේ ඉන්නවා.

මේ ගමන යන්න ලෝකේ හතර වටින්ම ඇවිත් තියෙන්නෙ මං වගේම නැව ගිළුනත් බෑං චූං කට්ටිය. නැව් තට්ටුවේ එකම පාටියයි. කෑ ගහනවා, හූ කියනවා, හිනා වෙනවා, පිස්සු කෝටියයි. නැවක් ගිලෙනකොට මෙහෙම ජොලි නම් ආයේ මොනවද ඔයිට වඩා....
හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට නේ. ඔන්න බොලේ ආමි පරික්ෂාව වගේ අපිව ඉහේ හිට පාදාංතයටම එක වරකට එකා බැගින් පරික්ෂා කරනවා හරියටම කියන ඒවා අහගෙන හිටියද බලන්න. මගේ වාරයේ හැමදාම පරිදි මම උපදෙස් පිළි පැදලා නෑ. රබර් සෙරෙප්පු දාගෙන මම මුහුදට පනින්න ඇවිත් තියෙන්නේ. දුන්නා මට දේශනයක් ජීවිතේට නොලැබෙන ගානට. ඉස්කෝලේ දෙකේ පන්තියට වැටුණා හා සමානයි.
කොහොමින් කොහොම හරි ආයෙත් සැරයක් නොටෝරියස් තමයි.
මටම මයි වෙන්නේ අප්පා....
"යකෝ නැවක් ගිලෙනවා නම් සපත්තු දදා ඉන්නේ මොන මෝඩයා ද?" හිතුවා විතරයි කිව්වේ නෑ. කට්ටියට සිංහල බෑ නේ... බලනකොට මම හොඳයි. තව කිහිපදෙනෙක් කොට කලිසම් වලින්.

මේ කොටි නැටුමට පස්සේ ආපහු අපි නිදහස්. හවස හයට අපිට කපිතාන් ගේ පිළිගැනීම. ෂැම්පේන් සමග කෙටි කෑම. ගමන් මහන්සිය යන්නත් එක්ක හොඳට ඇඟපත හෝදගෙන පොඩ්ඩක් පිළිවෙලකට.කපිතාන් අයියව බලන්න යනවා කියලා ඉක්මනට ලෑස්ති වෙන්න ගත්තා. කාමරේ තිබුණ ඔරලෝසුවෙත් තවම හරියට වෙලාව හදලත් නැහැ. ඇන්ටාර්ක්ටික් යන නැවේ වෙලාව යුෂුවායා වල වෙලාවට තමයි හදලා තියෙන්නේ. බාගෙට ලෑස්ති වෙද්දි මෙන්න තව නිවේදනයක්..... room number 15, please cime to the main conference hall immediately. අපේ කාමරේ... t.b. නාන කාමරයට ගියා විතරයි මම එළියට ආවා විතරයි. කරන්න දෙයක් නැහැ... දවසෙම ඇඳගෙන හිටිය ඇඳුම් දාගෙන අපි දෙන්නා උඩ තට්ටුවට ගියා. පාටිය පටන් අරං. පාටිය කිව්වට, හැමෝම අර උදේ ඉඳලම හිටිය හපුටු ඇඳුම් වලින්. රබර් සෙරෙප්පු දාගෙන. අපි දෙන්නා විතරයි ඇඟපත හෝදලාවත් හිටියේ. නැවේ කපිතාන් ඇවිල්ලත් නෑ. මොකද බීගල් ඕඩයෙන් එළියට ගෙනියන්න නැව හසුරවන්න එයා ඉන්න ඕනේ නිසා කියලා තමයි කිව්වේ.

මේක ඉතින් සාජ්ජයක් කිව්වට සාජ්ජයක්ම නෙවෙයි. ෂැම්පේන් දීලා නැවේ කාර්යමණ්ඩලය හඳුන්වලා දීම තමයි කළේ.
මේක ඉතිං මගේ පළවෙනි මුහුදු සංචාරය නිසා හැමෝම කියපු දේ අහලා sea sickness tablet (වමනේ පෙති) ගත්තා නැව් නගින්න පැය දෙකකට කළින්. තියෙන හොඳම වර්ගය කියලා දීපු නිසා බීලා දැම්මා. පෙති වලට අමතරව කන දෙපසින් අලවන පැච්, අතේ දාන බෑන්ඩ් එහෙමත් තියෙනවා. මම ඒවා ගැන දැන ගත්තෙත් මේ නැවට ගොඩවුණාට පස්සේ. මම නම් කියන්නේ හොඳම පෙත්ත තියෙන්නේ නැවේ දොස්තර ළඟ. එයා කියන ප්‍රමාණය අරහෙන බලලා තමන්ට අවශ්‍ය විදිහට අඩු කරන්න. t.b. අකුරටම පිළිපැදලා සම්පුර්ණ පෙත්‍තක් ම අරගෙන අන්තිමට පහුවදා  දවස් බාගයක් විතර යනකම්ම රා බීපු ඇතා වගේ හිටියේ. එක්කෝ නිදි., බැරිවෙලාවත් නැගිටලා හිටියොත් වැනෙනවා.... ඊට පස්සේ දවසේ ඉඳලා පෙති බාගයයි.
දවස් එක හමාරක් විතර යනවා ඇන්ටාර්ක්ටික් අර්ධද්වීපට යන්න. ඩ්‍රේක් පැසේජ් එක තරණය කරන්න ඕනේ. සිතියමේ බැලුවොත් ඒක සාගර තුනක එකතුවක්, අත්ලාන්තික්, ශාන්තිකර සහ දක්ෂිණ සාගර. මෙහි ස්වභාවය ඉතාම ඉක්මනින් වෙනස් වෙන සුළුයි. ඩ්‍රේක් වැව කියලා කියන අවස්ථාව බොහොම නිස්කලංකයි. අපේ ගමන යද්දී ඩ්‍රේක් වැව කියලා තමයි අපට කිව්වේ. නිස්කලංකයි කිව්වට මගේ පොතේ හැටියට නම් නෙවෙයි. කොහොමත් මේකේ වැඩිදුරටත් ගියේ රෑ නිසා වැවේ ද ගියේ, සුනාමියක ගහගෙනද ගියේ කියලා තේරුණේ නැහැ.
නැවට නැග්ග මොහොතේ ඉඳලා නවීන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය කොහෙත්ම ප්‍රයෝජනයක් නැති වුණා. අන්තර්ජාල පහසුකම් දුරකථන පහසුකම් අවමයි. නිකමට හරි ඒවා අවශ්‍ය නම් සල්ලි ගහත් අරගෙන නැව් නගින්න ඕනේ. අන්තර්ජාලය පාවිච්චි කරන්න අවශ්‍ය නම් කිලෝබයිට් දහයකට ඇමෙරිකානු ඩොලර් දහයක්. කාමරේ තියෙන ටි. වී. එකෙත් තියෙන්නේ පහුවෙනිදා වැඩසටහනයි තෝරාගත්ත වාර්තා වැඩසටහන් කිහිපයකුයි විතරයි. ඒකත් ජයසිරි මංගලම් කියලා දුරකථනය සම්පූර්ණයෙන්ම කැමරාවක් කරගන්නත්, ටී.වී.. එක කාලසටහන සහ ඔරලෝසුව විදිහට පාවිච්චි කරන්නත් තීරණය කලා.
රෑ කෑම ඉවර වෙලා අපට ගැලපෙන සපත්තු සහ හිම කබාය තෝරගන්න වෙලාව. හිම කබාය හරිම සැහල්ලුයි ගණකමයි හරිම උණුසුම්. ඒක සදහටම මගේ. හැබැයි ඉතින් මේ ගමනට පස්සේ කොහේ අඳින්නද මංදා. සපත්තු දෙකකුත් තෝරගත්තා. ඒ දෙක නම් ආපහු දෙන්න ඕනේ. නැමිලා සපත්තු දාගන්න බැරි කට්ටියට නම් ඉතින් ඔය කාර්යමණ්ඩලයේ කොල්ලෝ කෙල්ලෝ උදව් කලා. සමහරු කකුල් සපත්තු අස්සේ හිර කරගෙන පුටු පෙරලාගෙන බිම වැටීගෙන නැටුවා.


මහන්සියත්, මුහුදු ගමන් නුහුරු කමත්, වමනේ පෙත්ත නිසා ඇතිවුණ අපහසුවත් එක්ක කළින්ම ඇඳට වැටුණා. නමුත් ඊට කළින් නැව් තට්ටුවට ගිහින් රෑ අහස දිහා බලන්නත් අමතක කළේ නැහැ. නගර ආලෝකය නැති රාත්‍රි අහසේ ලස්සන හරියටම විඳගත්තේ එදා. තරු පිරිලා හැම තැනම. උල්කාපාත වැටෙනවා, චන්ද්‍රිකා යනවා... බලන්න ලස්සනයි.
කාමරේට ආවට පස්සේ ෆ්‍රීසර් එකේ දාලා එළියට ගත්ත ගෙම්බට බැට් එකෙන් ගැහුවා වගේ වැටිලා නිදා ගත්තා.




No comments:

Post a Comment