පහුගිය දවස්වල රටේ තිබුණ වාතාවරණය නිසා යමක් ලියන්න හිත හදාගන්න බැරි වීමත්, පහුගිය සති දෙක තුල තවත් සංචාරයක නිරතවී සිටීමත්, ලිවීමට ඉස්පාසුවක් නොතිබීමත් නිසා පස්වෙනි කොටස ලිවීම සෑහෙන්න ප්‍රමාද වුණා.
පහුවදා උදෙන්ම මම නැගිට්ටෙ කන ළඟින්ම ඇහුණ දයාබර කට හඬකින්.
"Good Morning!!!
Good morning!!! Time is now ... blah blah blah...." වතුරේ උෂ්ණත්වය, පරිසරයේ උෂ්ණත්වය, නැවේ ගමන් මග, රැල්ලේ උස, නෞකාවේ වේගය වැනි විස්තර මේ සමගම කියනවා.
මේක මෙහෙම ලිව්වට කිසිම වැඩක් නැහැ. අහලම බලන්න ඕනේ.... මේ විදිහට කතා කරල ඇහැරවනවා නම් හත වෙනකන් ඉන්නේ නැතිව පාන්දර තුනහමාරට හරි නැගිටලා කරන්න තියෙන වැඩ ටික එක හුස්මට කරලා දාන්නම් කෝ....
එදා ඉඳලා හැමදාම ජොනතන් මුළු නැවේම ඉන්න අයව ඔය විදිහට ඇහැරවනවා. හතට කලින් නැගිට්ටත් මම නම් ඇඳෙන් බැස්සේ නෑ ජොනතන්ගේ wake up call එක intercom එකෙන් ඇහෙනකන්..... එදා උදේ කෑම මේසයේදී අපි හැමෝගෙම සාකච්ඡාව මේ wakeup call එක....
පළමු දින උදෑසන ආහාර වේලට පස්සේ අපිට අධ්‍යාපනික වැඩ සටහන් දෙකක් තිබුණා. මේ නාවුක ගමන අනිත් නාවුක සංචාර වලට වඩා වෙනස්. නිදහස් වෙලාවලදී තිබුණේ නා නා ප්‍රකාර අධ්‍යාපනික වැඩසටහන්. අපේ සංචාරක මග පෙන්වන්නන් කණ්ඩායම එයාලගේ අත්දැකීම්, එයාලා අධ්‍යයනය කරන දේවල් සහ එයාලාගේ විශේෂ අවධානයට ලක්වූ විෂයයන් තමයි මේ දේශනවල මාතෘකා වුණේ. පක්ෂීන්, තල්මසුන්, ඡයාරූපකරණය වැනි අධ්‍යාපනික වටිනාකමක් ඇති දේවල්. අපට මේවාට යන්නම ඕනේ කියලා නෑ. කැමති ඒවට යන්න පුළුවන්.
හවස තිබුණේ බෝට්ටුවට ආරක්ෂිතව නගින බහින විදිහ. එතනත් උපදෙස් ගොඩක්. බෝට්ටුවේ ඉන්න විදිහ, ගොඩ බහින විදිහ, ගොඩබිම දී හැසිරෙන විදිහ, අඳින පළඳින විදිහ සීතල නොදැනෙන්න වගේ දේවල්. ඊට පස්සේ තිබුණේ kayak වලින් ගොඩබිමට යන්න ඕනෙ කියපු අයට කල දේශනයක්. මුල ඉඳලාම "බැරි සිල් නොගනිං අබරෝ" කියලා මමයි t.b. යි ඒකට බෑ කියපු නිසා මේ දේශනය වෙලේ බාර් එකට වෙලා ඒකේ සිරි නැරඹුවා.....
දෙවෙනි දවසනම් ඇත්තටම මට කම්මැලි හිතුණා. දකින්න ලැබුණේ පොඩි පොඩි කුරුල්ලෝ දෙතුන් දෙනෙකුයි මුහුදු ලිහිණියොයි විතරයි. නැවේ කාර්යමණ්ඩලය නම් Orca හෙවත් Killer Whales ලා දැකලා තිබුණා. හීනෙන්ද මංදා. මොකද අපි නැව් තට්ටුවට ආවහම නම් උන්ව දැක්කේ නැහැ.
හැම වෙලේම වැදගත් යමක් දැක්කහම අපිට ඒ ගැන නිවේදනය කරනවා අපිට නැව් තට්ටුවට ගිහින් බලන්න. ඒ වෙලාවට කැමරා උස්සගෙන හැමෝම දුවන්නේ හරියට අහස කඩන් වැටුණ ගානට. සමහරු නම් කාමර වල දොරවල් වලටත් තඩිබබා දුවන්නේ ඒ කාමර වල intercom වැඩ නෑ කියලා හිතාගෙන වගේ. බොහෝ දවස්වලට නටපු නැටුමේ හැටියට කන්දක් විළිලා මීයෙක්වත් වැදුවේ නෑ වගේ. මොකෝ අපි එනකම් ඔය සත්තු නැවතිලා ඉන්නවා කියලා යෑ. ඒ මදිවට ඒකා ඉඳලා තියෙන්නෙත් ක්ෂිතිජයෙත් අන්තිම කෙළවරේ.... මම ඉතින් මේ දුවන දිවිල්ල පළවෙනි දවස් දෙකට පස්සේ අතෑරලා දැම්මා පරිප්පු කන්න ඔච්චරම දුවන්නේ මොකටද කියලා.
තුන්වෙනි දවසේ අර ආදරණීය හඬත් එක්ක නැගිට්ට අපට ප්‍රථම වතාවට වතුරේ පාවෙන අයිස් කුට්ටි, අයිස් කඳු දකින්න ලැබෙන බව උදෑසන ආහාර වෙලාවේ දැනුම් දුන් නිසා මට නම් උදෑසන කෑමට පසු පෙන්ගුවින් ලා ගැන තිබුණ දේශනයේ මෙලෝ දෙයක් ඔළුවට ගියේ නැහැ. විශ්වවිද්‍යාලයේදීවත් හරියට දේශන වලට කන් නොදුන් මට.......
එදා දවසත් හරිම ලස්සනයි. ඉර පායලා, අහස නිල්ම නිල් පාටයි. පේන තෙක් මානයේ තිබුණේ අහස මුහුද සහ නැවේ සද්දය විතරයි. හරිම නිශ්චලයි. එතරම් පිරිසිදු වාතය ජීවිතේටම මම ආඝ්‍රාණය කර නැහැ. ලස්සන දවසක් කියලා කියන දේ හරියටම තේරුම් ගියේ එදා. මේ හේතුව නිසාම මම හැකි හැම වෙලාවකම සීතල හම විදගෙන ඇටකටු දක්වාම ගමන් කරන බව දැනුනත් නැවේ පිටත ඉන්න උත්සහ කලා. උණුසුම් ඇඳුම් තට්ටු කිහිපයක් ඇන්දත් කොයි තරම් අව්ව තිබුණත් හම නිරාවරණය වෙනතැන් වලින් සීතල දැනුනේ වැඩි වෙලාවක් එළියේ ඉන්න අපහසු වෙන විදිහටයි. නැව යාත්‍රා කරන නිසා එන සුළං පහරත් ඒකට බලපෑවා.
දහවල් ආහාරය ළං වෙද්දි මම පළමු වතාවට ක්ෂිතිජයෙන් මතුව එන පාවෙන අයිස් කුට්ටියක් දකින්න පටන් ගත්තා. යාල ගියහම පළවෙනි වල් අලියා දැක්කහම ඇතිවෙන හැඟීම වගේ තමයි මේකත්. ඊට ටික වෙලාවකට පස්සේ ඉතින් "අයියෝ අලි විතරද මේකේ ඉන්නේ?" කියලා අහනවා වගේ තමයි මේ අයිස් පර්වත දැකීමත්. දවස් දෙක තුනකට පස්සේ. ටයිටැනික් සිද්ධිය වගේ එකක් වුණොත් නම් ඒ අයිස් කුට්ටිය ගැන සලකලා බලන්නම්. එතකන් ඒවා පාවෙලා ගියාවේ. නිතර දෙවේලේ දකින කුකුළා වගේ තමයි.
දවල් කෑම කන්න යන්න කලින් මම ආයෙත් නැව් තට්ටුවට ගියා. බුදු අම්මෝ එහෙම ගඳක්..... වටපිට බලනකොට තමයි තේරුණේ නැව නැංගුරම් දාලා තියෙන්නේ පෙන්ගුවින් ගහනයක් ඉන්න කන්දක් ළඟ කියලා. කන්ද ළඟ කිව්වට අඩුම තරමේ කිලෝමීටර් දෙකක් විතර දුරින් (මීටර් නෙවෙයි).
අපි මේ අනේ cute කිය කිය බලන් ඉන්න පෙන්ගුවින්ලා.... අප්පා...
දහවල් කෑමට පස්සේ අපේ ප්‍රථම ඇන්ටාර්ක්ටික් අර්ධද්වීපට ගොඩ බැසීම යෙදුනා.
අව්ව තියෙන නිසා හරිම ලේසියි එළිය උණුසුම් කියලා හිතන්න. ඒක සම්පුර්ණ මුලාවක්....
මාත් ඉතින් තියෙන උණුසුම් ම ඇඳුම් ඇඳගෙන අපට දීපු උණුසුම් කබායත් දාගෙන, වතුර, කැමරාව, ජංගම දුරකථනය, පොඩි මුහුණ පිහින තුවායක්, අත්වැසුම්, අව් කණ්නාඩි, තෙමුණොත් මාරු කරගන්න තව මේස් දෙකක් දාපු ගමන් මල්ලත් අරගෙන, බූට් දෙකත් දාගෙන නැවේ පහල තට්ටුවට ආවා.
නැවෙන් පිටවෙන්න කළින් බූට් දෙක හොඳට සබන් සහ විසබීජ නාශක මිශ්‍ර වතුරෙන් සෝදගන්න ඕනේ. ඒකටම හරියන විදිහට හදපු වතුර භාජනයකුයි බුරුසුවකුයි තියෙනවා බෝට්ටුවට නගින තැන. මේකෙන් අපේ විසබීජ ගොඩබිමට යන එක නවතිනවා.
ගොඩබිමට යන ගමන් වලදී දෙවිදිහකට ගොඩ බහින්න පුළුවන්. වතුරට බැහැලා ගොඩට ඇවිදින්න වුණොත් wet landing කියනවා. කෙලින්ම ගොඩබිමට බහිනවා නම් dry landing. වතුරට බහිනවා කිව්වට වතුර සෙන්ටිමීටර තිහක් විතර තමයි වැඩිම වුණොත්. රැල්ල ගහන්නෙත් බොහොම හෙමින් මොකද වටේටම කඳු වලින් ගොඩබිම් වලින් වට වෙලා තිබුණ නිසා අපි ගොඩ බැස්ස තැන්.
ඉස්සෙල්ලාම අපි ගොඩ බැස්සේ දකුණු ෂෙට්ලන්ඩ් දූපත් වලින් එකකට. Half Moon Island. අප්පා ගන්ධස්තාරේ බැරුවා... fur seals සහ chinstrap penguin කොළණිය තමයි මේකට මුල. ඇමෝනියා ගඳට මුසු වුණ කුණු මාලු, පෙන්ගුවින් අපද්‍රව්‍ය සහ මැරුණු පෙන්ගුවින් පැටවුන්ගේ ගඳ. ටික වෙලාවක් යද්දී අපි ළඟත් ඒ ගඳ. නහයත් නිකම්ම ඒකට හුරු වෙලා.
අපි පෙන්ගුවින් කොළණිය මැදින් ඇවිදගෙන ගියත් එයාලට කිසිම ගානක් නැහැ අපි ගැන. මෙහෙදී පළමු තැන එයාලට. එයාලා අපි ළඟින් කොහේ හරි යන්න හදනවා නම් අපි අයින් වෙලා එයාලට ඉඩ දෙන්න ඕනේ. අපි ගිය කාලේ බිත්තර වලින් පැටව් ඇවිත්. එයාලා තවම සීතලට ඔරොත්තු දෙන්නෙ නැති අතරමැදි වයසක හිටියේ. කෙඳි පිහාටු හැලිලා නියම පිහාටු එන කාලේ. ඒ නිසා එයාලා කලබල නොවී ඉන්න විදිහට අපි හැසිරෙන්න වගබලා ගන්නත් උපදෙස් ලැබුණා. මේ අවට මාංශභක්ෂක කුරුල්ලෝ ගැවසෙන්නේ එයාලගේ බඩ කට ලේසියෙන්ම පුරවා ගන්නයි.
මේ කොළණිය පහු කරගෙන ගිහින් පොඩි කන්දක් නැගලා එතන අයිස් ගොඩේ පෙරලි පෙරලි නැටුවේ මේක කවදාවත් නොලැබුණු අත්දැකීමක් නිසයි. මෙතන අයිස් සුදුම සුදුයි. පෙන්ගුවින් කොළණිය ළඟ නම් රතු පාට, රෝස පාට, කොළ පාට මෝස්තර වැටුණ අයිස් තමයි තිබුණේ.
ඇන්ටාර්ක්ටිකාව රටවල් කිහිපයක්ම කොටස් වශයෙන් අයිති කරගෙන ඉන්නවා. ඉන් එක රටක් තමයි ආර්ජන්ටිනාව. මේ ගමනේ දෙවෙනි කොටස වුණේ Argentine Camara research station එකේ තියෙන හමුදා කඳවුරට. එතනදී අපට කේක් සහ හොට් චොක්ලට් ලැබුණා මතකයි.
ඉන්පසු නැවත බෝට්ටුවට නැගලා අපි නැවට ආවා. නැවට ඇතුල් වෙද්දි මුලින් වගේම සපත්තු සෝදාගෙන තමයි උඩට යන්න ඕනේ. ඒ එනකොට කෙටි කෑමක් සමග උණුසුම් පානයක් සහ hot towel එකක් ලැබෙනවා. කාමරයට ගිහින් ඇඳපු ඇඳුම් සහ බුට් හොඳට හෝදලා ගඳ යන්න නාගත්තේ මේක පළවෙනි අත්දැකීම නිසා..... ඊට පස්සේ දවසේ ඉඳලා නම් ඉතින් අපි, පෙන්ගුවින්ලා ඔක්කොම එක සුවඳ.....
No comments:
Post a Comment