මම දන්න හුඟක් දෙනෙක් හීන මැව්වේ පුංචි කාලේ ඉඳලම කවදා හරි ලොකු වෙලා ලස්සන මනමාලියෙක් වෙන්න, දරුවෝ හදන්න, ලොකූ ගෙවල්, කාර් ගන්න, ලොකු රස්සාවක් කරන්න .....
මට තිබුණේ මම ලොකු වුණාම තනියම කෝච්චියේ ගාලු යන්න පුළුවන් ද, පොල් ගස් නගින්න පුළුවන් වෙයි ද, බයිසිකල් පදින්න පුළුවන් ද කොටින්ම කිවුවොත් මට ඕන විදිහට මට ඉන්න පුළුවන් වෙයි ද කියන ප්‍රශ්න....
හැබැයි පුංචි කාලේ මගේ දෙමව්පියෝ මගේ ඔළුවට දාලා තිබුණේ කවුරු හරි ඇහුවොත් "මම ලොකු වෙලා දොස්තර කෙනෙක් වෙනවා" කියලා කියන ගිරා වාක්‍ය විතරයි. ඉතිං මාත් මගේ හීන ඔක්කොම පැත්තක තියලා අර පුරුදු වාක්‍ය වමාරනවා.....
හැබැයි දැන් මම දන්නවා මට කවමදාකවත් අනාගතය ගැන පැහැදිලි අරමුණක් තිබුණේ නෑ කියලා. ඒ නිසා වෙන්න ඇති රණ්ඩු වෙවී හරි, මම කරන්නේ මට ඕනදේ නෙවෙයි කියලා දැන දැනත් අම්මා තාත්තා කියන දේවල් කලෙත්.....
මගේ හීනය දොස්තර කෙනෙක් වෙන එකවත් දොස්තර කෙනෙක්ව විවාහ කරගන්න එකවත් නෙවෙයි කියන එක මට තේරුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ප්‍රදර්ශනය බලපු දවසේ. එතන හිටිය ලස්සන දොස්තර අයියලා දිහාවට ඇහැ දැම්මේ නෑ කියන්න නම් බෑ..... දන්නෝ දනිති ඒ හරිය.......
කල වයස හරි ගිහින් අපේ අම්මලා මංගල යෝජනා ගෙනෙන්න ලෑස්ති වෙනකොට නම් මම මුලින්ම කිව්වේ දොස්තරලා නම් එපා කියලා..... මොකද මම දැනගෙන හිටියා මට ඒ කැපකිරීම කරන්න බැහැ කියලා.
මම පොඩි කාලේ මගේ අරමුණු සහ සමාජයේ බලාපොරොත්තු අතර ගැටුණු කෙනෙක්. මට හිතෙන විදිහට ලංකාවේ ජීවත් වෙන බොහෝමයක් මධ්‍යම පාන්තික සමාජයේ දරුවන් මේ තුල හිරවෙලා....
මගේ හීන වෙනස් නිසා වෙන්න ඇති අදටත් ගෙවල් දොරවල්, කාර් වලට වඩා ලෝකේ ඇවිදලා අත්දැකීම් ලබා ගන්න හැමවෙලේම උත්සහ කරන්නේ. එහෙමත් නැත්නම් මගේ හීනය, මගෙ අරමුණ මම තවමත් හොයනවා.
ගෙදර ඉන්න අතර ලෝකයේ රටවල් විසි එකක, ඇන්ටාර්ක්ටික් අර්ධද්වීපය ඇතුළුව, කල සංචාරවල පින්තූර බලන ගමන්, ජූලි මාසයේ යන්න ඉන්න ආර්ක්ටික් අර්ධගෝලයේ සංචාරය ගැනත් සිහි කරද්දී හිතට ආව පුංචි අදහසක් විතරයි මේ....
කාන්තාවන්ට, ගැහැණු ළමයින්ට යමක් කියන්න අවශ්‍යයි. හැකි හැම අවස්ථාවකදීම තමන් කරන්න ආස දේ කරන්න බොහොමයක් ලාංකීය කාන්තාවන් සංචාරය කියන දේ කරන්න පුරුදුවෙලා ඉන්නේ තමන්ගේ දෙමව්පියන් එහෙමත් නැත්නම් සැමියා සහ දරුවන් හෝ යහළුවන් එක්ක පමණයි.
තනියම සංචාරය කරන්න පුරුදුවෙන්න. එය තරම් සැහැල්ලුවක්, විනෝදයක්, අත්දැකීම් ගෙනදෙන වෙන කිසිම දෙයක් මේ ලෝකේ මට හිතෙන විදිහට නැහැ. ඒ වගේමයි හඳුනාගන්න ලැබෙන විවිධාකාර අත්දැකීම් ඇති පුද්ගලයන් පොත පත හා සමානවම අපිට ගුරුවරයෙක් වෙනවා.
එකක් මතක තියාගන්න ඕනේ. කාන්තාවක් තනියම සංචාරයේ යනවා කියන්නෙ අයාලයේ යන එකවත්, ගණිකා වෘත්තියේ යෙදෙනවා කියන එකවත් නෙවෙයි.
No comments:
Post a Comment