Monday, May 27, 2019

ඇන්ටාර්ක්ටික් සංචාරය - 3

නැව් නගින්න තිබුණේ හවස හතරට.
කළින් දවසේ හවස මුළු සංචාරක කණ්ඩායම ම රැස් කරලා ගමන පිළිබඳව පැහැදිලි කිරීම්, දැනුම් දීම්, උපදෙස් සහ ලියකියවිලි අත්සන් කිරීම් අවසන් කලා. ඒ වෙලාවේ තමයි නැව් නගින අනිත් අයව අඳුනා ගත්තේ. බාගෙට වගේ....
අත්සන් කළ එක ලියවිල්ලක් තමයි, "මේ ගමනෙදී මළොත් හරි, අඬු කැඩුනොත් හරි වෙන කිසියම් අකරතැබ්බයක් වුණොත් හරි සංව්ධායකයන් වගකියන්නේ නැත" කියන එකට "හා මචං" කියලා කියපු එක.
මේ ගමන යන්න ඔස්ට්‍රේලියාවේ ඉතාම ප්‍රසිද්ධ ජනමාධ්‍යවේදියෙක්, එයාගේ නෝනත් සමග සම්බන්ධ වුණා. තරුණ චිත්‍ර ශිල්පිණියකුත් සහභාගි වුණා. ගමනේ අන්තිම දවසේ ඇය අඳින ඇන්ටාර්ක්ටික් භූමි දර්ශන වෙන්දේසියෙන් ලැබෙන සල්ලි ආධාර වශයෙන් රාජ්‍ය නොවන සංවිධානයකට ලබාදෙන්නත් ලෑස්ති කරලා තිබුණා.
උදේ හයට විතර අපි යන නෞකාව බීගල් ඕඩය දිගේ යුෂුවායා වරායට එනවා බලන්න අපේ නවාතැනේ කෑම ශාලාවේ සිට පුළුවන් කියන එක කිව් නිසාත් මේක මගේ පළමු මුහුදු සංචාරයත් නිසා කුකුළටත් එලාම් එක මම වෙලා තමයි උදේ නැගිට්ටේ. උදේ 4:30ට විතර ඉර පායගෙන එන දර්ශනයත් ඒ නිසාම මට බලන්න පුළුවන් උනා......





කෝපි එකකුත් හදාගෙන හෝටලයෙ විසිත්ත කාමරේ සැප පුටුවක ගුලිවෙලා පහලින් පෙනෙන යුෂුවායා දිහා බලාගෙන දවසම උණත් ගෙවන්න පුළුවන්. මොහොතෙත් මොහොත ඉර එළියත් එක්ක වෙනස්වෙන ඒ දර්ශනයේ කිසිම ඇතිවීමක් නැහැ.
තියෙන පණු ගායත්, කට කියවිල්ලත් එක්ක මට එක තැනකට වෙලා ඔහොම පැය ගණනක් නිශ්ශබ්දව ඉන්න බෑ කියලා තමයි කවුරුත් හිතන්නේ. ඒවා ඉතිං ඔය ඊරිසියාකාරයෝ හදන කට කතා........
නැව උදේ හයහමාර විතර වෙද්දි හෙමින් හෙමින් වරායට ආවා. ඒක දුරට වෙලා බලන කොට හරිම ශාන්ත නමුත් තේජස් ගමනක්. ඉතාම කුඩා බෝට්ටුවක් වගෙයි මම ඉන්න තැනට පෙනුණේ. මතකයිනේ, Arakur තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 200 ට වඩා ඉහලින් කියලා.
උදෑසන ආහාරය ගන්න වෙලේ කෙනෙක් කිව්වා මේ හෝටලයේ පිහිනුම් තටාකය ගැන. එය කොටස් දෙකකට වෙන්කරලා තියෙන්නේ වීදුරුවකින්. එක කොටසක් එළියේ අනිත් කොටස වීදුරුවලින් වටකරලා හෝටලයේ ඇතුලේ. කාලා බීලා ඉවරවෙලා මායි t.b. යි පැන්නා වතුරට. එහෙම ලස්සන තැනක තියෙන පිහිනුම් තටාකයක් තවමත් මට දකින්න ලැබිලා නැහැ.
දිවා ආහාරයට පස්සේ අපේ ගමන් මළු කාමර වල එළියෙන් තියන්න තමයි උපදෙස් දීලා තිබුණේ. ගමන් බලපත්‍රය, අපට නැවට නගින වෙලාව වෙනතුරු අවශ්‍ය කලමනා විතරක් අරගෙන අපි බස් එකට නැග්ගේ යුෂුවායා නගරයට යන්න. අපේ ගමන් මළු නෞකාව ළඟට වෙනම ගෙනගියේ පොඩි වාහනයකින්.
යුෂුවායා නගරයේ රස්තියාදු වෙන්න වැඩි වෙලාවක් ලැබුණේ නැහැ. ආගමන විගමන කාර්යාලයට ලියකියවිලි පෙන්වලා ගමන් බලපත් වලංගු කරගන්න තිබුණ නිසා.
එතනින් කෙලින්ම නෞකාව ළඟට. තම තමන්ගේ ගමන් මළු හඳුනාගෙන ඒවායේ තමන්ට අදාල කාමර අංකය සහිත tag එක එල්ල ගන්න ඕනේ.
වරායේ ජැටිවල මේ වගේ නෞකා බොහොමයක් තිබුණා. ඒවටත් සෙනග එන්න ගත්තා. එතකොට තමයි තේරුම් ගියේ කොයිතරම් සංඛ්‍යාවක් මේ ගමන යනවද කියලා.
එතන National Geography සහ පර්යේෂණ කටයුතු වලට විතරක් යන යාත්‍රා දෙකක් තිබුණා. ඒක මත පොඩි සබ්මැරීනයක් සහ හෙලිකොප්ටර් එකක් නවත්වලා. මට එවේලේ හිතුනේ මේ නැවෙන් අර නැවට පනින්නයි.
මේ ඕපදූප ඔක්කොමත් බලාගෙන අන්තිමට අපි නැවට ගොඩ වුණා. අදාල කාමරයට ගෙන ගියේ අපේ කොල්ලා නොහොත් personnel butler ..... අනේ අම්මේ..... හැමෝම නැවට ගොඩ වෙලා තම තමන්ගේ කාමර වලට යන නිසාත්, ගමන් මළු කාමර වලට බාරදීම කළයුතු නිසාත් සිදුවෙන අවහිරය නවත්වන්න කාමරයට වෙලා ටික වෙලාවක් හිටියා.
අපේ කාමරයේ ඇඳන් දෙකක්, ටී.වී. එකක්, සේප්පුවක්, ලොකු කණ්නාඩියක්, වාඩි වෙන්න පුටු දෙකක් සහ ලිවීමට මේසයක් තිබුනා. හැම කාමරයටම පුද්ගලික නාන කාමරයකුත් තියෙනවා. ඉතාම වැදගත් දේ වුණේ ජනේලයක්. ගමන සැළසුම් කරන අවදියේම තෝරා ගත්තේ ලොකු අරින්න බැරි වීදුරුවකින් යුතු ජනේලයක් (picture window) සහිත කාමරයක්. කාමර වල ගණන් තීරණය වෙන්නේ පහසුකම් සහ ජනේල පිහිටීම් වල හැටියට. බැල්කනි සහිත කාමර ගණන් වැඩිම අතර, ඉතාම කුඩා රවුම් වීදුරු සහිත කාමර මිලෙන් අඩුයි. මම ඉතින් හැමදාම වගේ මධ්‍යම ප්‍රතිපදාවෙන් වැඩ.
අපි හිටිය තට්ටුවේ වටේටම සෙනගට ඇවිදින්න පුළුවන්. හොඳ පුස්තකාලයක්, හැමෝටම ඉන්න පුළුවන් පොඩි ශාලාවක්, ඒකේ කොනේ ඕන ඕන වෙලාවට බොන්න ජාති හදලා දෙන බාර් එකක්, පොඩි ජිම් එකක් සහ එළියට වෙලා ඉඳගෙන ඉන්න කැමති අයට ලොකු සැප පුටුවක්. නැව පිටිපස්සේ අපිට අවශ්‍ය ඩිංගි බෝට්ටු එල්ලලා.
පැය විසිහතරේම තේ සහ කෝපි නොමිලේ. නමුත් තම තමන්ගේ මත්පැන් බිල ගමන අවසානයේ ගෙවන්න ඕනෙ.




නෞකාව පිටත් වෙන වෙලාවේ අපි හැමෝම නැව් තට්ටුවට ඇවිත් යුෂුවායා දුරස් වෙන හැටි බලාගෙන හිටියා. ඒ මොහොතේ මගේ හිතට දැනුනු හැඟීම හරිම සංකීර්ණයි.
- මතු සම්බන්ධයි -
ප.ලි. කොටස් තුනක් ලිව්වා.... තවම නෑ ඇන්ටාර්ක්ටික් පැත්ත පළාතක වත්.
මම උත්සහ කරන්නේ හැමදේම අත නොහැර ඔයාල එක්ක බෙදා ගන්න. මේක බෝරිං වැල් වටාරමක් වෙනවා නම් කියන්න. මම short and sweet කරන්න බලන්නම්. බැරිම නම් ඉවර කරලා දාන්නම්

No comments:

Post a Comment