ගොඩබිම කඳවුරු වල හිටි කට්ටිය අපි පිජාමා පාටියෙන් තේ බොන්න ලෑස්ති වෙන්කොටම වගේ ආවා. මූණු නාලු වෙලා. කඳවුරු බඳින්න යනවා කියලා කිව්වහම අපි හිතන්නේ කූඩාරම් ගහලා ගිනි මැල ගහගෙන කරන කඳවුරු නේ.....
මේ කට්ටියම රෑ කෑමෙන් පස්සේ බෝට්ටුවට නැගිලා ගොඩබිමට ගිහින්. එතනදී මෙයාල තමන්ගේ ශරීරයේ ප්‍රමාණය ට වලක් හාරගෙන ඒකේ පතුලට වතුර කාන්දු නොවන sleeping bag එකක් එළලා ඒක ඇඟ වටේ ඔතාගෙන ඊට උඩින් අයිස් දාගෙන තමයි නිදියලා තියෙන්නේ. කොටින්ම අයිස්වල බෙල්ල ළඟට එනකම්ම වැළලිලා තමයි නිදන්නේ. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියලා පාන්දර ජාමේ වැහැලා.... ඉර නගිනවා එහෙම බලලා තමයි එන්නේ කියලා ගිය අය ඉර මල්ලේ දාගෙන ආපහු ඇවිත්.
වාසනාවන්.... අපි නම් ඉතිං එයාලා ගෙනාව ඉර පස්ස පැත්තට වැටෙනකම්ම, සැපට නිදියගත්තා. සල්ලිත් ඉතුරුයි.
පළවෙනියටම ගොඩබහින්න තිබුණේ Enterprise දූපතේ Foyn Harbour කියන තැනට. මේ ගමන ප්‍රථම වතාවට කෑමට පෙර. එතැන තියෙනවා ආදි කාලයෙ තලිමසුන් දඩයම් කල ස්ථානයක් සහ අතහැර දැමූ තල්මසුන් දඩයමට ආ පරණ නැවක්, Governoren. මෙය 1915 දී ගිනිබත් වී ගිලුන නැවක්.
උදේ පාන්දරම මේක බලන්න යන්න බෝට්ටුවට නැගුන අපට ඈතින් පෙනුනේ Wilhelmina Bay එකේ අයිස් කුට්ටි අතර හැම තැනම පිහිනන තල්මසුන්. අපත් සමග සිටි මාධ්‍යවේදියා ට පින්තූර ගැනීමට අවශ්‍යයි කිවු නිසා අපේ ගමන් මග වෙනස් කර තල්මසුන් ඉන්න දිහාවට අපේ බෝට්ටුව යන්න පටන් ගත්තා. ඉර හොඳින් පායා නොතිබුණු නිසාත් වැහි අඳුර සහ මීදුම සමග මුළු පලාතම ගුප්ත ස්වභාවයක් අරන් තිබුණා. බෝට්ටුවේ සිටි දොලොස් දෙනාගෙම හුස්ම වැටෙන සද්දය සහ හබලේ සද්දය විතරයි ඇහුනේ. තල්මසුන් ආසන්නයට ආවහම බෝට්ටුවේ මෝටරය නැවැත්තුවා එයාලට බාධාවක් නොවෙන්න.
මුලදි තල්මස් වරළක් උඩට ආවත් zoom කර කර පින්තූර ගත්ත අපි ඊළඟ මොහොතේ තල්මස් රංචුවක් මැද, Humpback Whales තුන්දෙනෙක් කෑම කනවා. ඒක හරිම ආශ්චර්යජනක සිදුවීමක්. ඒකට කියන්නේ bubble net feeding කියලා. එතනදී එක්කෙනෙක් වතුර යටට කිමිදිලා වායු බුබුළු දානවා. වතුරේ කැළතීමත් එක්ක යට තියෙන ප්ලවාංග ඉහලට එනවා. ඉහලින් ඉන්න තල්මසුන් ආහාර ගන්නවා.
මෙයාලා දිහා දවසම උණත් බලන් ඉන්න පුළුවන්. අලි, බලි සහ තල්මසුන් බැලිල්ල ඇතිවෙන්නේ නැහැ කියලා වෙනස් කරන්න පුළුවන්.
මෙයාලා හුස්ම ගන්නකොට පිටකර වාතය නම්.... අප්පා සුගන්ධේ ඉන්න බැරුවා..... ඒවගේමයි පිටමැදින් එළියට එන වතුර පාර..... ලා කොළට හුරු දුඹුරු පාටක් ගඳත් ඊට දෙවෙනි නැහැ.
අපි අවට සාගරයේ ඒ මොහොතේ තල්මසුන් විසිතුනක් හෝ ඊට වැඩි ගණනක් පෙනෙන්න හිටියා. අන්තිමට අපේ කණ්ඩායම Foyn Harbour පැත්ත පළාතේ ගියේ නෑ. අපේ මග පෙන්වන්නට පැසසුම් සහ හාදු ගොඩයි..... whale power.......
පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ. අපි පළමු වතාවට ඇන්ටාර්ක්ටික් මහද්වීපයට පා තැබුවේ කළින් දවසේ Portal Point වලදී. මේක මේ ලියන්නේ ගමනෙන් සෑහෙන කලකට පස්සේ නිසා පොඩි එහා මෙහා වීමක් වුණා 6 වැනි කොටස ලියන වෙලාවේ.
නීල් ආම්ස්ට්‍රෝන්ග් හඳට පා තැබූ වෙලාවෙත් මේ වගේ උද්දාමයට පත්වෙන්න ඇති කියලා හිතුණා. අපිට සහතිකයක් දුන්නේ හරියට අපි දක්ෂිණධ්‍රැවයට ගියා වගේ..... ගියා කියලා හිතුණා හැබැයි ගියේ නැහැ.
තල්මසුන් එක්ක කාළය ගත කරලා ආපසු ඇවිත් උදේ කෑම ට පස්සේ දෙවෙනි පාරටත් පිටවුණේ Cuverville දූපතට යන්න. ඒක ඉතාම කුඩා දූපතක්. හැබැයි විශාලතම Gentoo පෙන්ගුවින් කොළණිය තියෙන්නේ මේ දූපතේ.
දහවල් කෑමට පෙර කැමති අයට නැවේ සිට වතුරට පනින්න අවස්ථාව දුන්නා. ආච්චිලා, සීයලාට චණ්ඩි වෙන්න දීලා මමයි t.b.යි පින්තූර ගන්න වැඩේ බාර ගත්තා. කැමරා, ජංගම දුරකථන හැට හුට හමාටක් ආම්බාං කරගෙන මේ පොඩි එවුන්ට අර සීතල වතුරට පනින්න ඉඩ දුන්නා. එයාලා වතුරට පනිනකොට ආරක්ෂාවට පටියක් ඉනවටේ දාලා ඒක නැව් කාර්යමණ්ඩලය අල්ලගෙන හිටියා. ඊට පස්සේ එයාලව ඇදලා නැවට අරන් උණුසුම් පානයක් දුන්නා. ඔන්න ඔහොමයි ඇන්ටාර්ක්ටික් වතුර ජරා වෙන්නේ.....
හවස නැවතත් අපි මහද්වීපයට ගොඩ බැස්සා Neko වරායෙන්. හති මුනිං දාගෙන කන්දක් නැගලා වටපිට ලස්සන බලද්දි මහා විශාල සද්දෙකුත් එක්ක විශාල අයිස් කන්දක් වතුරට කඩාගෙන වැටුණා. එහෙම අවස්ථාවක සුනාමි තත්ත්වයන් පවා ඇතිවෙන්න පුළුවන් ලු. මේ වෙලාවේ නම් අපි හිටියේ කන්දක් මුදුනේ.
කන්ද බහිනකොට තමයි හොඳම සෙල්ලම පටන්ගත්තේ. මුලින්ම ගිය කිහිප දෙනෙක් ලෙස්සලා කන්ද පාමුලට යනකන් පෙරළුනා. ඒකට හූ කිය කිය හිනාවෙලා උඩ හිටි අය බිම ඉඳගෙන පහලට රූටන්න පටන් ගත්තා..... මේක අන්තිමට සෙල්ලමක් වෙලා අපේ මග පෙන්වන කණ්ඩායම් නායකයාගෙන් බැනුමුත් අහලා තමයි කෙළවර වුණේ. එයාගේ සහයකයොත් පස්සේ අහගන්න ඇති අපිට අනුබල දුන්නට.
සමාවෙන්න, ලාංකික හැමෝම හිත් කලබලෙන් ඉන්න වෙලාවේ මම මේ අදාලම නැති එකක් පල කලාට. හිත සන්සුන් කරගන්න ලිවීම මට උදව්වක් වුණා මේ දවස් ටිකේම. ඉතිරි කොටස් හෙමින් පහුවෙලා දාන්නම්.
No comments:
Post a Comment