කඳු නැගලා බැහැලා පෙන්ගුවින් අසූචි වලින් පස්ස හෝදගෙන එහෙම ආව නිසා කෙළින්ම ගියේ නාගන්න. වතුර අර පරිස්සමෙන් පාවිච්චි කරන්න කිව්වත් හම ගැලවෙන ගානට එනකම්ම නෑවා. ගඳ යනකම්ම නෑවා. ඕනේ නම් ඇඳුම් හෝදවා ගන්න පුළුවන් සල්ලි දීලා. ඔය හවුලේ පාවිච්චියට ගන්න රෙදි සෝදන මැශින් වල පිරිසිදුකම ගැන දන්න නිසා මගේ ඇඳුම් මම ම හෝදාගත්තා.
හැන්දෑවේ තවත් දේශනයක්. අපි නම් කෙළින්ම ගියේ නැටුම් තෙල් සංස්ථාව ට. අපි යනකොට තව හුඟක් අය තෙල් ගහන්න ඇවිත් හිටියා. දේශනයට කවුරුවත් හිටියද මන්දා.....
මේ වෙනකොට හැමෝම හැමෝවම දන්නවා. මේ ගමනට සහභාගි වුන අය අතර හිටියා සල්ලි ගොඩේ පිහිනන අය, දේපල සේරම විකුණලා ලෝකේ වටේ සවාරි යන අය, tour company එකේ ඒජන්තවරු, ඒ අයගේ ආරාධිතයින් සහ ලෝකේ වටෙන් ඇහින්දාස්ලගෙන් හැදුන සංචාරක කණ්ඩායමක්, Travel Buddies. මෙයාලා මුහුණුපොත හරහා නිර්මාණය වුන අළුත්ම විදිහේ කණ්ඩායමක්. අඩු වියදමකින් ලෝකේ පුරා සංචාරය කිරීම තමයි අරමුණ.
මේ මුළු නැවේම හිටියේ එකම tour company එකකින් ගමන ලෑස්ති කරගත් අය විතරයි. හොඳම වැඩේ කියන්නේ හුඟ දෙනෙකුට මේ tour company එක අන්තිම කාමරේ විකුණලා. බලද්දී අන්තිම කාමර අටක් තිබිලා මේ නැවට......
බැඳපු අය, ලිහපු අය, ලිහපු එකා ව ආයෙත් බැඳලා අරන් ආපු අය, බැඳපු ගෑනි ගෙදර තියලා ආව අය, බැන්දත් තනිකඩයි කියලා හිතාගෙන ඉන්න අය, තනිකඩ අය, ළමයි ආච්චිලා සීයලාට දීලා ආව අය මේ අතර හිටියා.
අපිත් එක්ක ඉස්සෙල්ලාම යාළුවුනේ බ්‍රයන්. නවසීලන්ත ජාතිකයෙක් හැබැයි පදිංචිය ඔස්ට්‍රේලියාවේ. මට හමු වුණ වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන් ම gentleman චරිතයක්. හොඳ යෙහෙළියක් එක්ක මේ ගමන යනවා. ඒ ලළනාව දෙපාරක් බැඳලා ලිහලා මිණිපිරියො ඉන්න වයස හතලිස් ගණනක ආච්චි කෙනෙක්. එයාගේ boyfriend බ්‍රයන් එක්ක යන ඕනේ ගමනක් දෙපාරක් නාහා යන්න ඉඩ දෙන තරමට බ්‍රයන් හොඳ කෙනෙක්. බ්‍රයන්ගේ චරිතාපදානය වෙන වෙලාවක ලියන්නම්. අන්තිමට බ්‍රයන් මගෙයි t.b. ගෙයි unofficially official photographer, හොඳම යහළුවා සහ ආරක්ෂකයා බවට පත් වුනා. සුරා සූදුවෙන් තොර, ඉතාම හොඳින් වගකීමක් ඇතිව ජීවත්වෙන කෙනෙක්. කිසිම වෙලාවක යටිකූට්ටු සැලසුම් තිබුණේ නැහැ බ්‍රයන් ළඟ.
Travel buddies කණ්ඩායමේ කළු ඇමරිකානුවෙක් හිටියා. පෙනුමත් නරකම නෑ. නැවට නැග්ග ගමන් මගෙත් එක්ක කතා කළේ එයා. අපි දෙන්නාට පල්ළවෙනි දවසේම පැය ගානක් කිසිම ප්‍රශ්නයක් නැතිව කතාකරන්න ඕනේ තරම් දේවල් තිබුණා. එදා ගොඩ දෙනෙක් හිතලා තිබුණේ අපි දෙන්නා ටිං ටිං ටිං වෙයි කියලා..... කතා කල විදිහෙන් සමනළයෙක් කියලා හිතුවත් නෝනාව දික්කසාද කරපු දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තෙක්. නම මිගෙල්. රෑ දනියෙල් දවල් මිගෙල්. කතාව රොකට් එකෙන් ගමනත් රොකට් එකෙන්. මසුරු සිටානෝගේ රොකට් එකට තෙල් අපෙන්. දවස් දාහතරක් එක සතයක් වියදම් කළේ නැහැ. අනුන්ගෙන්මයි බිව්වේ. කාන්තා පාර්ශවය ලවා හරි බොන්න අර ගන්න තමයි උත්සහය. කෑමට ගිහින් ඉඳගන්නේ වයින් බෝතලයක් ඇරපු මේසෙක. දවස් දෙක යද්දී හැමෝටම වැඩේ තේරුණ නිසා මෙයාව මග අරින්න පටන් ගත්තා....මාත් මෙයා මෙහෙන් එද්දි මොකක් හරි දොරකින් කොජාට හරි රිංගනවා. එක දවසක් රිංගලා තිබුණේ ඉන්ජිනේරුවෙක් පරික්ෂා කරන්න දොර ඇරපු එන්ජින් කාමරයට. පොඩ්ඩෙන් ගුටිත් කනවා.
Tour company නියෝජිතයන් දෙන්න ඔස්ට්‍රේලියාවෙන් හා කැනඩාවෙන්. දෙන්නම විවාහකයි කියලා තමයි කිව්වෙ. අනේ එයාලා ගොඩබිම තියලා ආව දරු පවුල් වල මෙයාලා ගැන තියෙන විස්වාසය අපරාදේ. මේ අය එක්ක තමයි ඇන්ටාර්ක්ටික් භූමි දර්ශන වල චිත්‍ර විකුණලා charity එකකට සල්ලි දෙනවා කියපු කෙනා හිටියෙත්. ඒ අයටම ඈඳිලා හිටියා තවත් ඇටෙන් පොත්තෙන් එළියට ආව ගමන් වගේ පොඩි කෙල්ලෙක්. එයා තනියම මේ ගමන යන්න ආව කෙනෙක්. මේ කණ්ඩායම වැඩිය අනිත් අය එක්ක සුහද වෙන්න උත්සහ කළේ නැහැ.
මාව තාවකාලිකව දරුකමට හදා ගත්ත ඔස්ට්‍රේලියානු යුවලක් හිටියා. හැම වෙලේම මගේ ආරක්ෂාව සැප පහසුව ගැන හොයලා බැලුවා. සල්ලි තිබුණත් පොළවේ පය ගහලා හිටපු දෙන්නෙක්. ඩන්කන් සහ ජෑන්.
මග පෙන්වන්නන් කණ්ඩායම එයාලගේ කාමරවල හෝ පුස්තකාලය තුල කාලය ගත කලත් මගීන් එක්ක වැඩි භජනයක් තිබුණ බවක් පෙනුනේ නැහැ. හැබැයි ඕනේ වෙලාවක ඉතාම හොඳින් කතා බහ කළා. නැටුම් තෙල් සංස්ථාවේ දී හරි කෑම වෙලාවෙදි හරි තමයි පොඩ්ඩක් එයාල එක්ක නිදහසේ කතා කරන්න පුළුවන් වුනේ.
මෙයාලා බොහෝ දෙනෙක් දකුණු ඇමරිකානුවන්. මේ සංචාරක සමය ඉවර කරලා ටික දවසක් ගෙවල් වල ගිහින් ඇවිත් ආර්ක්ටික් අර්ධගෝලයෙ සංචාරක සමය පටන් ගත්තහම එහේ මග පෙන්වන්නන් විදිහට යනවාලු. එක ගමනක් අවසානයේ තව එකක් මුළු කාලය පුරාවටම. මේ විස්තර දැනගත්තේ මෙයාලා කිහිප දෙනෙක් දවස් කිහිපයක් අපිත් එක්ක එකට spa එක පාවිච්චි කල නිසා. ඒ වෙලාවට නම් තෙල් සංස්ථාවෙන් හොර බඩු spa එකටම එනවා කිසිම බේදයකින් තොරව.....
එඩුවාර්ඩෝ ඒ කණ්ඩායමේ හිටිය අවිවාහකයෙක්. නැටලී අපි වගේම පිස්සු හටනක්. කැල් අහින්සක විසි එක් වැනි වියේ දෙදරු පියෙක්. ටිම් ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෙක්. ඇබ් ගානට තැන තියාගෙන හිටිය වැඩිහිටියෙක්. ස්වෙන් ජොලියට බර බොහොම නිවුන කෙනෙක්. ලුයිස් ලස්සන හිනාවක් තිබුණ කෙනෙක්. ඇන්තනී තමයි official photographer මේ ගමනේ. ජොනතන් ගැන දන්නවනේ. පොඩ්ඩක් විතර ඔළුව ඉදිමිලා.
ග්ලැසියර් අයිස් දාලා බීපු නැටුම් තෙලේ ආදීනව කියන්නම් කියලා පොරොන්දු වුණත් මේ කට්ටිය ගැන නොකියා ඒ වැඩේ කරන්න අමාරුයි.
ඊළඟ කොටසින් ම නැටුම් තෙල් ආදීනව කියන්නම් ඈ එහෙනම්.
No comments:
Post a Comment