දවසේ දෙවන ගොඩබිම් සංචාරය ඉවර වෙලා එනකොට රෑ කෑමෙන් පස්සේ හොඳ සාජ්ජයක් දාන්න පොඩි කතාවක් ගියා. චැඩ් ළඟ හොඳ සිංදු එකතුවකුත් තියෙනවා කිව්ව නිසා මම නම් එක පයින් එකඟ වුණා. චැඩ් තමයි ඔස්ට්‍රේලියානු නියෝජිතයා.
රෑ කෑමට කලින් තිබුණ දේශනයට කණුව තියලා නැටුම් තෙල් සංස්ථාවට තමයි වැඩි දෙනෙක් ඇවිත් තිබුණේ. නා නා ප්‍රකාර ඕපාදූප කතා කර කර ඉන්න අතරේ Travel Buddies කණ්ඩායමේ ගෑණු ළමයෙක් අපිත් එක්ක කතාවට වැටුණා. නැටුම් තෙල් නිදහසේ ගලන බවත් පෙනෙන්න තිබුණා. එක එක අය එක එක අයට පොවනවා ඒ ගමන් තමනුත් බොනවා. මම bar එකට ගියේ මගේ ප්‍රියතම පානය ගන්න. Whisky on rocks. ග්ලැසියර් අයිස්. ඒ අයිස් වල වෙනම රසක්. ඒක පැහැදිලි කරන්න හරිම අමාරුයි. අති පිරිසිදු ක්ලෝරීන් රහිත පානීය ජලය. මුහුදෙන් ගත්තට කිසිම ලුණු රසක් නැහැ. උල්පත් වතුර වගේ නැවුම්.
රෑ කෑම වෙලාවේ t.b. බ්‍රයන් සහ මම වැඩිහිටි කණඩායමක් එක්ක ඉඳගත්තේ ජෑන් හේ සහ ඩන්කන් ගේ ඉල්ලීම පරිදි. මෙන්න බොලේ මිගෙලුත් ආපි ඒ අස්සටම. මේසය මැද wine බෝතලයක් නේ. අපි තුන්දෙනා wine එපා කිව්වා. මිගෙල් වීදුරුවක් අරගෙන කිව්වේ "I will have Madhi's wine then" කියලා. මේසේ හිටිය අය මුහුණෙන් මුහුණ බලාගත්තා. Not my grapes not my wine.
කෑමෙන් පස්සේ අපි ආයෙත් bar එකට ගියා party දාන්න. කෑව නිසා වෙරිත් බැහැලා. t.b. බ්‍රයන්, මම, ජෑන් සහ ඩන්කන් එක තැනක. අපේ මාතෘකාව මිගෙල්. ඩන්කන්ට කියලා බොහෝ දවස් වල මත්පැන් අරගෙන බීලා. ජෑන් එවෙලේ තමයි එළි කලේ ඒ හැමදෙනාම දුක්වුනා කියලා මිගෙල් එක්ක මම ටිං ටිං ටිං පටලැවිල්ලක් හදා ගනීවී කියලා.....හත්වලාමේ.... t.b. දුන්නා උත්තරයක් මම වෙනුවෙන්.
කතාවෙන් කතාවෙන් වෙරි වැඩිවෙනවා. ජෑන් ඩන්කන් එක්ක එයාලගේ කාමරයට ගියා අපට විනෝද වෙන්න කියලා. ආයෙත් අර Travel Buddies කණ්ඩායමේ ගෑනු ළමයා අපි ළඟට ආවා.
"එඩුවාර්ඩෝ ගැන මොකද හිතන්නේ?" Sure එකට උල්කාපාතයක් තමයි මේ. මගේ හඳුන්පොත කිව්වා. එඩුවාර්ඩෝ එක්ක spa එකේ හිටියා තමයි. හැබැයි තවත් අය හිටියා නේ.
"ඇයි? මොනවත් නැහැ. තවත් පුද්ගලයෙක් විතරයි" මම කිව්වා.
"අනේ එයා හරිම හැන්ඩ්සම්. මම එයාට කැමතියි." ආ ඔය එන්නේ නැටුම් තෙල් වල ලෙස්සපු බළලත් මල්ලෙන් එළියට බඩ ගාගෙනම...
අපිත් ඕනේ මගුලකට full support නේ. දුන්නා උල්පන්දම් සමග ගොඩ පෙරකදෝරු කම්. ග්ලැසියර් අයිස්වලට කළවම් වුන නැටුම් තෙල් දැන් පවුල් උපදේශක සේවා සපයනවා.
චැඩ් එයාගේ සිංදු ටිකත් අරගෙන නැටුම් තෙල් සංස්ථාවට එද්දි ඒ පස්සෙන් එඩුවාර්ඩෝ ත්..... ආයිස් අප්පා. අද නම් මල්සරා බීලා නෑ... ගානට ඊතලේ විදලා....
සංගීතය තියෙන තැනක මම ඉඳගෙන හිටියොත් විහිලුවක්. මම අර ගෑණු ළමයට උපදෙස් දුන්නා එඩුවාර්ඩෝ ට කතා කරන්න කියලා මම කෙලින්ම dance floor එකේ. මෙන්න බොලේ මිගෙලුත් කඩාගෙන බිඳගෙන ඇවිත් මං ළඟ. මිනිහට බාගෙට වෙරි.
ඒ අස්සේ මගේ ඇහැ කොනට bar එකේ පෙනෙනවා එඩුවාර්ඩෝ ගේ දෙපැත්තේ කෙල්ලෝ දෙන්නෙක්. දෙවෙනි එක්කෙනා අර කැනඩාවෙන් ආව company ඒජන්ත තුමී. මෙන්න පොඩ්ඩකින් එඩුවාර්ඩෝ ඒජන්ත තුමී එක්ක එයාලගේ කාමර පැත්තට යනවා. අපේ තුමී අපි හිටිය තැනට කඳුළු පෙරාගෙන වැනි වැනී ආවා. අර තුමී මේ තුමීට කියලා "උඹ එඩුවාර්ඩෝ ගැන අදහසක් තියෙනවා නම් අතහැර ගන්න. අපේ කණ්ඩායමේ එක්කෙනෙක් එයා ගැන බලාපොරොත්තුවක් තියෙනවා" කියලා.
"ඔන්න ඕක පැත්තක දාන්න. අපි බොමු තව රවුමක්." බෝතලේ ළඟ ඉඳගත්තත් වෙරි වෙන t.b. කිව්වා එයාට බොන්න බෑ කියලා. කලින් ගත්ත එකත් බාගෙට ඉතිරියි.
ඒ රවුම අරගෙන මලක් දෙකක් එහෙම කඩලා එද්දි මෙන්න අර උතුමීලා කණ්ඩායම එනවා bar එකට. එඩුවාර්ඩෝ පෙනෙන්න නැහැ. ඒ අව් අස්සේ bar එකේදී මගෙත් එක්ක කතාවට වැටුනු රුසියානු ජාතික hospitality manager මාත් එක්ක salsa නටන්න ඕනේ ලූ.... ඒ වෙද්දි නීතියට රූලට පිළිවෙලකට නටන්න පොඩ්ඩක් විතර අමාරුයි හැබයි යකා නටන්න නම් අමාරුවක් නැහැ. අත අරියි මමත් අභියෝගයක්.... මම මෙහෙ salsa නටන අස්සේ අර උතුමීලා අපේ තුමීට ආයෙත් තර්ජනය කරලා. බිළාල රෝම වාතයට එකතුවෙන්න ඔන්න මෙන්න තියෙද්දි අපේ තුමීගේ ගැන්සියේ තව කෙනෙක් නිසා තාවකාලික විරාමයක් මේ ගෝරියට. මේ සේරම ග්ලැසියර් අයිස් වල.බලේ කියලයි මම නම් කියන්නේ.
බොරතෙල් ඉහලා ගිනිකූරක් පත්තු කළා වගේ වෙන බව පෙනෙන නිසා t.b. සහ මම තීරණය කලා කාමරයට යන්න. බ්‍රයන් කිව්වා එයා තර්ජනයට ලක් වෙච්ච තුමී කාමරයට යනකන් ඉන්නවා කියලා.
හැමෝටම සුභ රාත්‍රියක් පතලා යද්දී මිගෙල් හැමෝම ඉතිරි කරපු නැටුම් තෙල් කොට ටික බොනවා. ඇමරිකාවේ මහලොකු කොම්පැණියක ලොක්කා, මිලියන ගානක් වටින ගෙයක් හොලිවුඩ් වල තියෙන එකා, පෝශ් කාර් එකක අයිතිකාරයා...... සංසාරේ... මෙන්න ඒපාර මේ මනුස්සයා ඔස්ට්‍රේලියාවෙන් ගිය එකීයෙක්ගේ පස්සෙන් බිමදිගේ වැටීගෙන, පෙරළීගෙන කෙළ පෙරාගෙන "අයි ලව් යූ මයි බේබී" කිය කිය බඩගානවා. විළි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා. හෙට මූණ දීපංකෝ සමාජෙට. මේ නාඩගම බාගෙට වැඳපුදාගෙන බිත්ති වල වැදි වැදී අපි කාමරේට ගියා. නැව නම් වෙනදාට වඩා ඉතාම තදින් පැද්දුනා කියලා මට හිතුණේ අර අයිස්වලට පින් සිද්ධ වෙන්න. පහුවදා බ්‍රයන් කියනවා මෙයා අපේ කාමරේ ළඟ බිම ඉඳගෙන දොරට ගහ.ගහ බේබි ගර්ල්ට කතා කර කර ඇඬුවා කියලා....අපොයි මිගෙල්.... බේබි ගර්ල් කාමරේට ගිය ගමන්ම ඇදගෙන හිටි ඒවගෙන්ම ඇඳට වැටුණ විදිහ t.b. විතරයි දන්නේ.....
එඩුවාර්ඩෝ ගේ කාමරෙන් ජොනතන් කුකුළා හඬලන්න කළින් කැනේඩියන් ඒජන්ත තුමී එළියට එනවා දැකපු කිහිපදෙනෙකුත් ඉන්නවා....
නැවේ වුණ දේවල් නැවේම තිබුණාවේ කිව්වත් අපි වගේ ජනතාවට පහන් සංවේගය සලසන පත්තර කාරයෝ ඉන්නවානේ ඉතිං....
No comments:
Post a Comment