Friday, May 31, 2019

ඇන්ටාර්ක්ටික් සංචාරය - 8


පහුවදා උදේ නැගිටිනකොට ඉර පෙනෙනතෙක් මානෙකවත් නැහැ. වැහි අඳුර ගෙනාවේ හරිම පාළු මුස්පේන්තු බවක්. ගමන් මහන්සියත් ටික ටික දැනෙන්න පටන් ගෙන. ජොනතන්ගේ පැණි බේරෙන wake up call එකත් මේ වෙද්දි නිතර දෙවේලේ අඬලන කුකුල් කරච්චලයක් වගේ වෙලා මට. 

උදේ කෑමට ගියහම ඒවත් එකම වගෙයි පෙනෙන්නේ. t.b. ෆිලිපීන ජාතික කාන්තාවක්. නැවේ වැඩ කරන කාර්යමණ්ඩලය කිහිපදෙනෙක්ම ෆිලිපීන ජාතිකයන්. මේ අයට නැවේ මුළුතැන්ගෙය භාර ලොක්කත් අයිතියි. ඒ නිසා අපිට හැම වෙලාවේම විශේෂ සැලකිල්ලක් ලැබුණා. කන්න බෑ කිව්වහම විශේෂ කෑමක්, නැවේ කාර්යමණ්ඩලය ට වෙනම මොනවා හරි හැදුවොත් අපෙන් අහලා අපටත් කොටසක් දෙන්න තරම් එයාලා අපිට ආදරේ වුණා. 

මුල්ම දවසේ නැවේ චලනය සමග ඇතිවන අපහසුතාවට අත් බෙහෙතක් විදිහට හෙමිහිට පොඩ්ඩ පොඩ්ඩ කොළ ඇපල් කන්න කියලා උපදෙස් දුන්නෙත් මෙයාලා. එදා ඉඳලා හැමදාම උදේට හවසට අපේ කාමරයට අළුත්ම අළුත් පාට කොළ ඇපල් දෙක ගානේ පහල වෙනවා. අදටත් ඒ ඇපල් සුරංගනාවී කවුද කියන්න අපි දන්නේ නැහැ. 

නැව Neptune's Bellows ඕඩයෙන් Port Foster කියන ප්‍රදේශයට ඇතුල් වෙන හැටි බලන්න පුළුවන් නැව් තට්ටුවට ආවොත් කියලා උදේම ජොනතන් කිව්වත් සීතල ලොකුයි මහ මුදලිකමටත් වඩා කියලා මම නම් තව ටිකක් ගුලි ගැහුනා ඇඳේ. පින්තූර ගාය තියෙන උනන්දුවෝ ටික නම් හොර කසිප්පු පොළට පොලිසියෙන් පැන්නා වගේ දුවනවා ඇහුනා. 

කම්මැලි කමින් නැගිටලා කාලා බීලා ලෑස්තිවුනා තවත් ගොඩ බැසීමකට. මේ වෙනකොට දුවගෙන ගිහින් යන ඩිංගියේ එල්ලෙන්නත් පුළුවන්. ඒ තරමට ඒවට නැගලා බැහැලා පුරුදු වෙලා. 

මේ අපේ තුන්වෙනි ඇන්ටාර්ක්ටික් මහද්වීපයට ගොඩ බැසීම. Waterboat point කියන තැන චිලී රටට අයත් පර්යේෂණ මධ්‍යස්ථානය Gonzalez Videla Station ට. මෙතන සෙනග ඉන්නේ ගිම්හාන කාලේ විතරයි ඒකත් ඔහේ ආවාට ගියාටලූ..... අපි යනකොට එතන පර්යේෂනගාරය වහලා. මෙතැන් ප්‍රදහාන වශයෙන්ම නැව් වලට බොන වතුර සපයන තැනක්. ග්ලැසියර් දියවෙලා එන වතුරවල.ලුණු රස නැති එක තමයි හේතුව.










චිලී රටේ ආමි එකේ කිහිපදෙනෙක් එතන වැඩ. කතා කරන්න ඕනේ වුණත් අතින් පයින් තමයි. නොදන්න ස්පැනිෂ් වලට ගිහින් වරිගේ නහගන්නේ මොකටද? 'ඔලා" " කොමොස්ටාස්" "බුවෙන්" "ග්‍රාස්සියාස්" විතරයි කට ඇරලා කිව්වේ. ඉතුරු හරිය ඇස් කොණින් බැලුම්, කට කොනින් මඳ සිනහා, හොරෙන් හිනා, අතින් පයින් ඔළුවෙන් කතා විතරයි. අනේ ඉතින් ඒවගේ ඇහැට කනට පෙනෙන සෝල්දාදුවෝ රටේ ඉන්න කෙල්ලන්ට වාසනාවන්....

දවල් කෑමට පස්සේ අපි ගොඩ බැස්සේ Almirante Brown Station එකට. මේක උදේ ගිය තැනට ඉතාම ළඟයි. නමුත් අයිති ආර්ජන්ටිනාවට. Paradise Bay එහෙමත් නැත්නම් Patadise Harbour එකේ පිහිටලා තියෙන්නේ. Brown Station එකේ ඉඳලා කන්ද උඩට නැග්ගහම මුළු Paradise Bay එකම බලන්න පුළුවන්. මේ සංචාරයේ නම දැකපු ලස්සනම භූමි දර්ශනය තිබුණේ මෙතන. වතුර නිශ්චලයි බැලූ බැලූ අත හිම මිදුන කඳු. කිසීම ප්‍රශ්නයක් නැතුව එතනට වෙලා දවස් ගණනාවක් තට්ට තනියම ඉන්න පුළුවන් කියලා හිතෙන තරමේ තැනක්. ඒ දර්ශනයේ සුන්දරත්වයට අපි ඉබේම නිශ්ශබ්ද වුණා. කිසිම හේතුවක් නැතිව ඇස් වලට කඳුලු ඉනුවේ ඇයි කියන්න මට අදටත් බැහැ. එතැනින් වැටිලා මැරුණත් කිසිම දුකක් නැහැ කියලා හිතුණ එකම අවස්ථාව මේ. ශාන්තිය කියන දේ, කිසිම හැඟීමක් නැහැ, ආසාවක් නැහැ කියන න්‍යාය තේරුම් ගිය තප්පර කිහිපය මේ. දැනුන හැඟීම තේරුම් කරන්නවත් තේරුම් ගන්නවත් බැරි ඉතාමත්ම ගුප්ත මොහොතක් ඒ විනාඩි කිහිපය. 










මෙතනින් බැහැලා එද්දී මම මෙලොවට ආවේ පෙන්ගුවින් බහිස්ශ්‍රාවිය ද්‍රව්‍ය හෝදාගෙන ගලා යන වතුර පාරක් උඩ ලිස්සලා පස්ස බිම ඇනගත්තට පස්සේ. පුරුදු පරිදි මම තමයි ආරම්භකයා.... 

ඊළඟට අපි Skontorp Bay එකේ බෝට්ටු සවාරියක් ගියා. ඒ යනකොට ගල්බෝර දානවා වගේ සද්ද සැරින් සැරේ ට ඇහෙනවා. ඒ ගිම්හාන කාලයේ දියවෙන අයිස් කුට්ටි පුපුරන සද්දේ. මේ සවාරියේදී ආයෙත් අයිස් කඩාගෙන වැටෙන හැටි බලන්න පුළුවන් වුණා. අපේ බෝට්ටුවට අපි පාවෙන අයිස් කුට්ටියක් පටවගත්තා. රෑට ඒක අපේ නැටුම් තෙල්වලට දාන්න ගන්න කියලා තමයි කිව්වේ. 









ග්ලැසියර් අයිස් දාලා බිව්ව නැටුම් තෙලේ බලේ ඊළඟ කොටසින් බලාපොරොත්තු වන්න.....


Monday, May 27, 2019

ඇන්ටාර්ක්ටික් සංචාරය - 7

ගොඩබිම කඳවුරු වල හිටි කට්ටිය අපි පිජාමා පාටියෙන් තේ බොන්න ලෑස්ති වෙන්කොටම වගේ ආවා. මූණු නාලු වෙලා. කඳවුරු බඳින්න යනවා කියලා කිව්වහම අපි හිතන්නේ කූඩාරම් ගහලා ගිනි මැල ගහගෙන කරන කඳවුරු නේ.....

මේ කට්ටියම රෑ කෑමෙන් පස්සේ බෝට්ටුවට නැගිලා ගොඩබිමට ගිහින්. එතනදී මෙයාල තමන්ගේ ශරීරයේ ප්‍රමාණය ට වලක් හාරගෙන ඒකේ පතුලට වතුර කාන්දු නොවන sleeping bag එකක් එළලා ඒක ඇඟ වටේ ඔතාගෙන ඊට උඩින් අයිස් දාගෙන තමයි නිදියලා තියෙන්නේ. කොටින්ම අයිස්වල බෙල්ල ළඟට එනකම්ම වැළලිලා තමයි නිදන්නේ. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියලා පාන්දර ජාමේ වැහැලා.... ඉර නගිනවා එහෙම බලලා තමයි එන්නේ කියලා ගිය අය ඉර මල්ලේ දාගෙන ආපහු ඇවිත්.

වාසනාවන්.... අපි නම් ඉතිං එයාලා ගෙනාව ඉර පස්ස පැත්තට වැටෙනකම්ම, සැපට නිදියගත්තා. සල්ලිත් ඉතුරුයි.

පළවෙනියටම ගොඩබහින්න තිබුණේ Enterprise දූපතේ Foyn Harbour කියන තැනට. මේ ගමන ප්‍රථම වතාවට කෑමට පෙර. එතැන තියෙනවා ආදි කාලයෙ තලිමසුන් දඩයම් කල ස්ථානයක් සහ අතහැර දැමූ තල්මසුන් දඩයමට ආ පරණ නැවක්, Governoren. මෙය 1915 දී ගිනිබත් වී ගිලුන නැවක්.

උදේ පාන්දරම මේක බලන්න යන්න බෝට්ටුවට නැගුන අපට ඈතින් පෙනුනේ Wilhelmina Bay එකේ අයිස් කුට්ටි අතර හැම තැනම පිහිනන තල්මසුන්. අපත් සමග සිටි මාධ්‍යවේදියා ට පින්තූර ගැනීමට අවශ්‍යයි කිවු නිසා අපේ ගමන් මග වෙනස් කර තල්මසුන් ඉන්න දිහාවට අපේ බෝට්ටුව යන්න පටන් ගත්තා. ඉර හොඳින් පායා නොතිබුණු නිසාත් වැහි අඳුර සහ මීදුම සමග මුළු පලාතම ගුප්ත ස්වභාවයක් අරන් තිබුණා. බෝට්ටුවේ සිටි දොලොස් දෙනාගෙම හුස්ම වැටෙන සද්දය සහ හබලේ සද්දය විතරයි ඇහුනේ. තල්මසුන් ආසන්නයට ආවහම බෝට්ටුවේ මෝටරය නැවැත්තුවා එයාලට බාධාවක් නොවෙන්න.

මුලදි තල්මස් වරළක් උඩට ආවත් zoom කර කර පින්තූර ගත්ත අපි ඊළඟ මොහොතේ තල්මස් රංචුවක් මැද, Humpback Whales තුන්දෙනෙක් කෑම කනවා. ඒක හරිම ආශ්චර්යජනක සිදුවීමක්. ඒකට කියන්නේ bubble net feeding කියලා. එතනදී එක්කෙනෙක් වතුර යටට කිමිදිලා වායු බුබුළු දානවා. වතුරේ කැළතීමත් එක්ක යට තියෙන ප්ලවාංග ඉහලට එනවා. ඉහලින් ඉන්න තල්මසුන් ආහාර ගන්නවා.

මෙයාලා දිහා දවසම උණත් බලන් ඉන්න පුළුවන්. අලි, බලි සහ තල්මසුන් බැලිල්ල ඇතිවෙන්නේ නැහැ කියලා වෙනස් කරන්න පුළුවන්.

මෙයාලා හුස්ම ගන්නකොට පිටකර වාතය නම්.... අප්පා සුගන්ධේ ඉන්න බැරුවා..... ඒවගේමයි පිටමැදින් එළියට එන වතුර පාර..... ලා කොළට හුරු දුඹුරු පාටක් ගඳත් ඊට දෙවෙනි නැහැ.

අපි අවට සාගරයේ ඒ මොහොතේ තල්මසුන් විසිතුනක් හෝ ඊට වැඩි ගණනක් පෙනෙන්න හිටියා. අන්තිමට අපේ කණ්ඩායම Foyn Harbour පැත්ත පළාතේ ගියේ නෑ. අපේ මග පෙන්වන්නට පැසසුම් සහ හාදු ගොඩයි..... whale power.......

පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ. අපි පළමු වතාවට ඇන්ටාර්ක්ටික් මහද්වීපයට පා තැබුවේ කළින් දවසේ Portal Point වලදී. මේක මේ ලියන්නේ ගමනෙන් සෑහෙන කලකට පස්සේ නිසා පොඩි එහා මෙහා වීමක් වුණා 6 වැනි කොටස ලියන වෙලාවේ.

නීල් ආම්ස්ට්‍රෝන්ග් හඳට පා තැබූ වෙලාවෙත් මේ වගේ උද්දාමයට පත්වෙන්න ඇති කියලා හිතුණා. අපිට සහතිකයක් දුන්නේ හරියට අපි දක්ෂිණධ්‍රැවයට ගියා වගේ..... ගියා කියලා හිතුණා හැබැයි ගියේ නැහැ.

තල්මසුන් එක්ක කාළය ගත කරලා ආපසු ඇවිත් උදේ කෑම ට පස්සේ දෙවෙනි පාරටත් පිටවුණේ Cuverville දූපතට යන්න. ඒක ඉතාම කුඩා දූපතක්. හැබැයි විශාලතම Gentoo පෙන්ගුවින් කොළණිය තියෙන්නේ මේ දූපතේ.

දහවල් කෑමට පෙර කැමති අයට නැවේ සිට වතුරට පනින්න අවස්ථාව දුන්නා. ආච්චිලා, සීයලාට චණ්ඩි වෙන්න දීලා මමයි t.b.යි පින්තූර ගන්න වැඩේ බාර ගත්තා. කැමරා, ජංගම දුරකථන හැට හුට හමාටක් ආම්බාං කරගෙන මේ පොඩි එවුන්ට අර සීතල වතුරට පනින්න ඉඩ දුන්නා. එයාලා වතුරට පනිනකොට ආරක්ෂාවට පටියක් ඉනවටේ දාලා ඒක නැව් කාර්යමණ්ඩලය අල්ලගෙන හිටියා. ඊට පස්සේ එයාලව ඇදලා නැවට අරන් උණුසුම් පානයක් දුන්නා. ඔන්න ඔහොමයි ඇන්ටාර්ක්ටික් වතුර ජරා වෙන්නේ.....

හවස නැවතත් අපි මහද්වීපයට ගොඩ බැස්සා Neko වරායෙන්. හති මුනිං දාගෙන කන්දක් නැගලා වටපිට ලස්සන බලද්දි මහා විශාල සද්දෙකුත් එක්ක විශාල අයිස් කන්දක් වතුරට කඩාගෙන වැටුණා. එහෙම අවස්ථාවක සුනාමි තත්ත්වයන් පවා ඇතිවෙන්න පුළුවන් ලු. මේ වෙලාවේ නම් අපි හිටියේ කන්දක් මුදුනේ.

කන්ද බහිනකොට තමයි හොඳම සෙල්ලම පටන්ගත්තේ. මුලින්ම ගිය කිහිප දෙනෙක් ලෙස්සලා කන්ද පාමුලට යනකන් පෙරළුනා. ඒකට හූ කිය කිය හිනාවෙලා උඩ හිටි අය බිම ඉඳගෙන පහලට රූටන්න පටන් ගත්තා..... මේක අන්තිමට සෙල්ලමක් වෙලා අපේ මග පෙන්වන කණ්ඩායම් නායකයාගෙන් බැනුමුත් අහලා තමයි කෙළවර වුණේ. එයාගේ සහයකයොත් පස්සේ අහගන්න ඇති අපිට අනුබල දුන්නට.

සමාවෙන්න, ලාංකික හැමෝම හිත් කලබලෙන් ඉන්න වෙලාවේ මම මේ අදාලම නැති එකක් පල කලාට. හිත සන්සුන් කරගන්න ලිවීම මට උදව්වක් වුණා මේ දවස් ටිකේම. ඉතිරි කොටස් හෙමින් පහුවෙලා දාන්නම්.

ඇන්ටාර්ක්ටික් සංචාරය - 6

Half Moon Island එකේ ඇවිදලා ඇවිත් නාලා කරලා පෙන්ගුවින් ගඳ ඇරගත්තත් නහයට ඒ ගඳ දැනෙන ගතිය එදා නිදාගන්න යනකම්ම දැනුනා.

හැන්දෑවේ අපි වැඩි දෙනෙක් බාර් එක අවට රැස් වුණේ සතුටු සාමීචියේ යෙදෙන්න විතරමයි..... බාර් කීපර් පාළුවේ අපි දිහා දුකෙන් බලාගෙන ඉන්නවා දැක්ක නිසා එයාට අපි බයිට් හැදීම, බොන ජාති හැදීම වගේ වැඩ පවරන්න පටන් ගත්තා. පව්නේ එයා..... අන්තිමට එයා දවසම දිව්වාට වඩා මහන්සියෙන් හිටියේ.

රෑ කෑමට පස්සේ අපි පහුවෙනිදාට කරන දේවල් ගැන දැනුවත් කිරීමක් කළා.

මට අමතක වුණා කියන්න, අපි හැමෝවම කණ්ඩායම් දෙකකට බෙදලා තිබුණා, Chinstrap සහ Gentoo, ඇයි අපි පෙන්ගුවින්ලා ද?

ගොඩබිමට යද්දී මේ කණ්ඩායම් දෙක වෙන වෙනම යවන්නේ පාලනය කිරීමේ පහසුවට. හැබැයි ඉතින් දවස දෙක යනකොට කට්ටියම අහුවෙන අහුවෙන කණ්ඩායම එක්ක යන්න පටන් ගත්තා තියෙන නැහැදිච්ච කමට.

අපට නැවේදී පාවිච්චි කරන්න හැඳුනුම් පතකුත් දීලා තිබුණා. ඒක බැලූ බැල්මට අපේ රියදුරු බලපත්‍රය වගේ. නැවෙන් පිට වෙද්දි සහ ඇතුලට එද්දි ඒක පාවිච්චි කරන්න ඕනේ. ඒ විදිහට තමයි කීදෙනෙක් නැවෙන් පිටවුණාද ඒ හැමෝම ආපහු ආවද කියලා දැනගන්නේ.

නැවේ කෑම නම් ඉතාම ඉස්තරම්. උදෑසන සහ දවල් ආහාර වේල් බුෆේ ක්‍රමයට. රෑට Set Menu එකක් වුණාට ඒකට සූප් එකක්, ප්‍රධාන ආහාරයක් සහ අතුරුපසක් ඇතුලත්. එක එක දවසට එක එක විදිහට එක එක කෑම. තේ කෝපි 24/7.

දවස් තුනක් යද්දී තේරුණා එහෙම කෑවොත් නැවේ වහලේ ගලවලා දොඹකරයකින් තමයි එළියට බාන්න වෙන්නේ කියලා. වහාම රෑ කෑම සුප් එකට විතරක් සීමා කරලා පැණිරස දෙයක් උදේට විතරක් කන්න තීරණය කළා.

නැවේ හිටි අනිත් අය දවස පුරාම නැව් තට්ටුව වටේ ඇවිද්දා ව්‍යායාමය සඳහා. අපි කරයි ඔය වැඩි වැඩ.

ඊළඟ දවසේත් අපිට ගොඩ බැසීම් දෙකක් ලෑස්ති කරලා තිබුණා. ඒ වගේම kayak වලින් ගොඩට යන අයත් එදා මුල් වතාවට පිටත් වෙන්න ලැස්ති වුණා.

Kayak කණ්ඩායම මුළින්ම Hydrurga Rocks බලා පිටත් වුණා. ඊට පස්සේ අපි කිසිම මහන්සියක් නැතුවම එතැනට අර කණ්ඩායමටත් කලින්...

මෙතනත් පිරිලා පෙන්ගුවින්ලා සහ fur seal ලා. හිතේ හැටියට පින්තූට ගන්න මෙයාලා හැරි හැරී පෙරළි පෙරළි ඉඩ දුන්නා.

බෝට්ටුවට නැගලා එක එක විදිහේ පාවෙන අයිස් කඳු බලන්න යන්න අවස්ථාව ලැබුණා. ඒවගේ ළඟට ගියහම විශාලත්වය, පාට සහ ඒ මත තියෙන විවිධාකාර මෝස්තර ස්වභාවධර්මය කොයිතරම් නිර්මාණශීලි ද කියලා අපට තේරුම් කළා.

දවස ඉතාම ලස්සන දවසක්. ඉර පායලා, අහස නිල්ම නිල් පාටයි, එක සුළං පොදක් නැහැ. වතුර නිශ්චලයි කිසිම රැල්ලක් නැහැ හරියට ගොඩබිම ඉන්නවා වගේ.

එදා දවල්ට කාලා හවස තුනට විතර අපි නැවතත් ලෑස්ති වුණා Portal Point ගොඩ බැසීමට. මේ වෙනකම්ම කල ගොඩ බැසීම් සියල්ලම එක එක දූපත් වල මිසක් ඇන්ටාර්ක්ටික් මහද්වීපයට නෙවෙයි.

Portal Point බැහැලා දවල් කාපු ඒවා බහිනකම්ම කන්දක් බඩගෑවා. හිම ගොඩේ කඳු නැගීම හොදි නැතිව කාඩ්බෝඩ් කනවා වගේ තමයි. කකුල හරියට තියා ගත්තේ නැත්නම් කන්දෙන් පල්ලට බ්‍රේක් නැතුවම ඩෝයි.... අල්ල ගන්න අතු තියෙනවා කියල ද හිරවෙලා නවතින්න ගල් ගොඩවල් තියෙනවා කියලද? ලෙස්සලා ගියොත් ග්‍රීස් උඩ පොල්තෙල් ගාගෙන ලිස්සුවා වගේ තමයි.

උඩ ඉඳලා පහල බලන් කොට හරිම ලස්සනයි. මහන්සිය අපතේ ගියේ නැහැ.

අයිස් උඩ ලා කොළ පාට සහ ලා රතු රෝස පාට පැල්ලම් තැන් තැන්වල තියෙනවා. කඳු මුදුනට කිට්ටුව නම් ඇල්ගී. වතුරට කිට්ටුව තියෙන රතු පාට පැල්ලම් ක්‍රිල් කියන, කූනිස්සෝ වගේ පොඩි ප්ලවාංගයක් නිසයි. තල්මසුන් ඇතුළුව ඇන්ටාර්ක්ටිකාවේ ඉන්න බොහොමයක් සතුන්ගේ ආහාර දාමයේ යම් අවස්ථාවක ක්‍රිල් ඇතුලත් වෙනවා.

හති මුනින් දාගෙන නැවත නැවට ආව අපට නැවේ කප්පිත්තා ගානේ හවසට කොක්ටේල් පාටියක් ලෑස්ති කරලා. පළවෙනි දවසේ පාඩම ඉගෙනගත් නිසා දඩි බිඩියෙ ඇඟ පත හෝදගෙන ශාලාවට ආවේ ගමන පටන් අරගෙන දවස් තුනකට පස්සේ මේ කප්පිත්තා දකින්න පුළුවන් වෙන නිසා.

අදත් ලණු. නෑ නෑ... නැව් කඹ....

අන්තිමට අපි ඔක්කොම තීරණය කලා මේ යන්නේ අපේ ජීවිතේ අවසන් ගමන කියලා. හොල්මන් නැවක හොල්මන් සංචාරයක්. පේන තෙක් මානෙක වෙන කිසිම යාත්‍රාවකුත් නැහැ. ගැලවීමක් නැහැ.

ගොඩබිම කඳවුරු බඳින්න යන අය එදා රෑ තමයි පිටවෙන්න තිබුණේ. එයාලා ආයේ කවමදාවත් දකින්න නොලැබෙයි මොකද එයාලා ගොඩබිමට ගියහම කප්පිත්තා මරලා කනවා කියලත් කතාවක් ඇරියා.....

අපි නම් ඉතින් සීතලේ දුක් විඳින්න තව අමතර ඩොලර් නවසීයක් දෙන්නේ මොකටද කියලා දෙකක් දාගෙන හොඳ සැපට ඇඳන්වලට වැටිලා නිදාගත්තා පහුවදාට බේරිලා එන එකෙක් හිටියොත් විස්තර අහගන්නම් කියලා.

ඇන්ටාර්ක්ටික් සංචාරය - 5

පහුගිය දවස්වල රටේ තිබුණ වාතාවරණය නිසා යමක් ලියන්න හිත හදාගන්න බැරි වීමත්, පහුගිය සති දෙක තුල තවත් සංචාරයක නිරතවී සිටීමත්, ලිවීමට ඉස්පාසුවක් නොතිබීමත් නිසා පස්වෙනි කොටස ලිවීම සෑහෙන්න ප්‍රමාද වුණා.

පහුවදා උදෙන්ම මම නැගිට්ටෙ කන ළඟින්ම ඇහුණ දයාබර කට හඬකින්.

"Good Morning!!!

Good morning!!! Time is now ... blah blah blah...." වතුරේ උෂ්ණත්වය, පරිසරයේ උෂ්ණත්වය, නැවේ ගමන් මග, රැල්ලේ උස, නෞකාවේ වේගය වැනි විස්තර මේ සමගම කියනවා.

මේක මෙහෙම ලිව්වට කිසිම වැඩක් නැහැ. අහලම බලන්න ඕනේ.... මේ විදිහට කතා කරල ඇහැරවනවා නම් හත වෙනකන් ඉන්නේ නැතිව පාන්දර තුනහමාරට හරි නැගිටලා කරන්න තියෙන වැඩ ටික එක හුස්මට කරලා දාන්නම් කෝ....

එදා ඉඳලා හැමදාම ජොනතන් මුළු නැවේම ඉන්න අයව ඔය විදිහට ඇහැරවනවා. හතට කලින් නැගිට්ටත් මම නම් ඇඳෙන් බැස්සේ නෑ ජොනතන්ගේ wake up call එක intercom එකෙන් ඇහෙනකන්..... එදා උදේ කෑම මේසයේදී අපි හැමෝගෙම සාකච්ඡාව මේ wakeup call එක....

පළමු දින උදෑසන ආහාර වේලට පස්සේ අපිට අධ්‍යාපනික වැඩ සටහන් දෙකක් තිබුණා. මේ නාවුක ගමන අනිත් නාවුක සංචාර වලට වඩා වෙනස්. නිදහස් වෙලාවලදී තිබුණේ නා නා ප්‍රකාර අධ්‍යාපනික වැඩසටහන්. අපේ සංචාරක මග පෙන්වන්නන් කණ්ඩායම එයාලගේ අත්දැකීම්, එයාලා අධ්‍යයනය කරන දේවල් සහ එයාලාගේ විශේෂ අවධානයට ලක්වූ විෂයයන් තමයි මේ දේශනවල මාතෘකා වුණේ. පක්ෂීන්, තල්මසුන්, ඡයාරූපකරණය වැනි අධ්‍යාපනික වටිනාකමක් ඇති දේවල්. අපට මේවාට යන්නම ඕනේ කියලා නෑ. කැමති ඒවට යන්න පුළුවන්.

හවස තිබුණේ බෝට්ටුවට ආරක්ෂිතව නගින බහින විදිහ. එතනත් උපදෙස් ගොඩක්. බෝට්ටුවේ ඉන්න විදිහ, ගොඩ බහින විදිහ, ගොඩබිම දී හැසිරෙන විදිහ, අඳින පළඳින විදිහ සීතල නොදැනෙන්න වගේ දේවල්. ඊට පස්සේ තිබුණේ kayak වලින් ගොඩබිමට යන්න ඕනෙ කියපු අයට කල දේශනයක්. මුල ඉඳලාම "බැරි සිල් නොගනිං අබරෝ" කියලා මමයි t.b. යි ඒකට බෑ කියපු නිසා මේ දේශනය වෙලේ බාර් එකට වෙලා ඒකේ සිරි නැරඹුවා.....

දෙවෙනි දවසනම් ඇත්තටම මට කම්මැලි හිතුණා. දකින්න ලැබුණේ පොඩි පොඩි කුරුල්ලෝ දෙතුන් දෙනෙකුයි මුහුදු ලිහිණියොයි විතරයි. නැවේ කාර්යමණ්ඩලය නම් Orca හෙවත් Killer Whales ලා දැකලා තිබුණා. හීනෙන්ද මංදා. මොකද අපි නැව් තට්ටුවට ආවහම නම් උන්ව දැක්කේ නැහැ.

හැම වෙලේම වැදගත් යමක් දැක්කහම අපිට ඒ ගැන නිවේදනය කරනවා අපිට නැව් තට්ටුවට ගිහින් බලන්න. ඒ වෙලාවට කැමරා උස්සගෙන හැමෝම දුවන්නේ හරියට අහස කඩන් වැටුණ ගානට. සමහරු නම් කාමර වල දොරවල් වලටත් තඩිබබා දුවන්නේ ඒ කාමර වල intercom වැඩ නෑ කියලා හිතාගෙන වගේ. බොහෝ දවස්වලට නටපු නැටුමේ හැටියට කන්දක් විළිලා මීයෙක්වත් වැදුවේ නෑ වගේ. මොකෝ අපි එනකම් ඔය සත්තු නැවතිලා ඉන්නවා කියලා යෑ. ඒ මදිවට ඒකා ඉඳලා තියෙන්නෙත් ක්ෂිතිජයෙත් අන්තිම කෙළවරේ.... මම ඉතින් මේ දුවන දිවිල්ල පළවෙනි දවස් දෙකට පස්සේ අතෑරලා දැම්මා පරිප්පු කන්න ඔච්චරම දුවන්නේ මොකටද කියලා.

තුන්වෙනි දවසේ අර ආදරණීය හඬත් එක්ක නැගිට්ට අපට ප්‍රථම වතාවට වතුරේ පාවෙන අයිස් කුට්ටි, අයිස් කඳු දකින්න ලැබෙන බව උදෑසන ආහාර වෙලාවේ දැනුම් දුන් නිසා මට නම් උදෑසන කෑමට පසු පෙන්ගුවින් ලා ගැන තිබුණ දේශනයේ මෙලෝ දෙයක් ඔළුවට ගියේ නැහැ. විශ්වවිද්‍යාලයේදීවත් හරියට දේශන වලට කන් නොදුන් මට.......

එදා දවසත් හරිම ලස්සනයි. ඉර පායලා, අහස නිල්ම නිල් පාටයි. පේන තෙක් මානයේ තිබුණේ අහස මුහුද සහ නැවේ සද්දය විතරයි. හරිම නිශ්චලයි. එතරම් පිරිසිදු වාතය ජීවිතේටම මම ආඝ්‍රාණය කර නැහැ. ලස්සන දවසක් කියලා කියන දේ හරියටම තේරුම් ගියේ එදා. මේ හේතුව නිසාම මම හැකි හැම වෙලාවකම සීතල හම විදගෙන ඇටකටු දක්වාම ගමන් කරන බව දැනුනත් නැවේ පිටත ඉන්න උත්සහ කලා. උණුසුම් ඇඳුම් තට්ටු කිහිපයක් ඇන්දත් කොයි තරම් අව්ව තිබුණත් හම නිරාවරණය වෙනතැන් වලින් සීතල දැනුනේ වැඩි වෙලාවක් එළියේ ඉන්න අපහසු වෙන විදිහටයි. නැව යාත්‍රා කරන නිසා එන සුළං පහරත් ඒකට බලපෑවා.

දහවල් ආහාරය ළං වෙද්දි මම පළමු වතාවට ක්ෂිතිජයෙන් මතුව එන පාවෙන අයිස් කුට්ටියක් දකින්න පටන් ගත්තා. යාල ගියහම පළවෙනි වල් අලියා දැක්කහම ඇතිවෙන හැඟීම වගේ තමයි මේකත්. ඊට ටික වෙලාවකට පස්සේ ඉතින් "අයියෝ අලි විතරද මේකේ ඉන්නේ?" කියලා අහනවා වගේ තමයි මේ අයිස් පර්වත දැකීමත්. දවස් දෙක තුනකට පස්සේ. ටයිටැනික් සිද්ධිය වගේ එකක් වුණොත් නම් ඒ අයිස් කුට්ටිය ගැන සලකලා බලන්නම්. එතකන් ඒවා පාවෙලා ගියාවේ. නිතර දෙවේලේ දකින කුකුළා වගේ තමයි.

දවල් කෑම කන්න යන්න කලින් මම ආයෙත් නැව් තට්ටුවට ගියා. බුදු අම්මෝ එහෙම ගඳක්..... වටපිට බලනකොට තමයි තේරුණේ නැව නැංගුරම් දාලා තියෙන්නේ පෙන්ගුවින් ගහනයක් ඉන්න කන්දක් ළඟ කියලා. කන්ද ළඟ කිව්වට අඩුම තරමේ කිලෝමීටර් දෙකක් විතර දුරින් (මීටර් නෙවෙයි).

අපි මේ අනේ cute කිය කිය බලන් ඉන්න පෙන්ගුවින්ලා.... අප්පා...

දහවල් කෑමට පස්සේ අපේ ප්‍රථම ඇන්ටාර්ක්ටික් අර්ධද්වීපට ගොඩ බැසීම යෙදුනා.

අව්ව තියෙන නිසා හරිම ලේසියි එළිය උණුසුම් කියලා හිතන්න. ඒක සම්පුර්ණ මුලාවක්....

මාත් ඉතින් තියෙන උණුසුම් ම ඇඳුම් ඇඳගෙන අපට දීපු උණුසුම් කබායත් දාගෙන, වතුර, කැමරාව, ජංගම දුරකථනය, පොඩි මුහුණ පිහින තුවායක්, අත්වැසුම්, අව් කණ්නාඩි, තෙමුණොත් මාරු කරගන්න තව මේස් දෙකක් දාපු ගමන් මල්ලත් අරගෙන, බූට් දෙකත් දාගෙන නැවේ පහල තට්ටුවට ආවා.

නැවෙන් පිටවෙන්න කළින් බූට් දෙක හොඳට සබන් සහ විසබීජ නාශක මිශ්‍ර වතුරෙන් සෝදගන්න ඕනේ. ඒකටම හරියන විදිහට හදපු වතුර භාජනයකුයි බුරුසුවකුයි තියෙනවා බෝට්ටුවට නගින තැන. මේකෙන් අපේ විසබීජ ගොඩබිමට යන එක නවතිනවා.

ගොඩබිමට යන ගමන් වලදී දෙවිදිහකට ගොඩ බහින්න පුළුවන්. වතුරට බැහැලා ගොඩට ඇවිදින්න වුණොත් wet landing කියනවා. කෙලින්ම ගොඩබිමට බහිනවා නම් dry landing. වතුරට බහිනවා කිව්වට වතුර සෙන්ටිමීටර තිහක් විතර තමයි වැඩිම වුණොත්. රැල්ල ගහන්නෙත් බොහොම හෙමින් මොකද වටේටම කඳු වලින් ගොඩබිම් වලින් වට වෙලා තිබුණ නිසා අපි ගොඩ බැස්ස තැන්.

ඉස්සෙල්ලාම අපි ගොඩ බැස්සේ දකුණු ෂෙට්ලන්ඩ් දූපත් වලින් එකකට. Half Moon Island. අප්පා ගන්ධස්තාරේ බැරුවා... fur seals සහ chinstrap penguin කොළණිය තමයි මේකට මුල. ඇමෝනියා ගඳට මුසු වුණ කුණු මාලු, පෙන්ගුවින් අපද්‍රව්‍ය සහ මැරුණු පෙන්ගුවින් පැටවුන්ගේ ගඳ. ටික වෙලාවක් යද්දී අපි ළඟත් ඒ ගඳ. නහයත් නිකම්ම ඒකට හුරු වෙලා.

අපි පෙන්ගුවින් කොළණිය මැදින් ඇවිදගෙන ගියත් එයාලට කිසිම ගානක් නැහැ අපි ගැන. මෙහෙදී පළමු තැන එයාලට. එයාලා අපි ළඟින් කොහේ හරි යන්න හදනවා නම් අපි අයින් වෙලා එයාලට ඉඩ දෙන්න ඕනේ. අපි ගිය කාලේ බිත්තර වලින් පැටව් ඇවිත්. එයාලා තවම සීතලට ඔරොත්තු දෙන්නෙ නැති අතරමැදි වයසක හිටියේ. කෙඳි පිහාටු හැලිලා නියම පිහාටු එන කාලේ. ඒ නිසා එයාලා කලබල නොවී ඉන්න විදිහට අපි හැසිරෙන්න වගබලා ගන්නත් උපදෙස් ලැබුණා. මේ අවට මාංශභක්ෂක කුරුල්ලෝ ගැවසෙන්නේ එයාලගේ බඩ කට ලේසියෙන්ම පුරවා ගන්නයි.

මේ කොළණිය පහු කරගෙන ගිහින් පොඩි කන්දක් නැගලා එතන අයිස් ගොඩේ පෙරලි පෙරලි නැටුවේ මේක කවදාවත් නොලැබුණු අත්දැකීමක් නිසයි. මෙතන අයිස් සුදුම සුදුයි. පෙන්ගුවින් කොළණිය ළඟ නම් රතු පාට, රෝස පාට, කොළ පාට මෝස්තර වැටුණ අයිස් තමයි තිබුණේ.

ඇන්ටාර්ක්ටිකාව රටවල් කිහිපයක්ම කොටස් වශයෙන් අයිති කරගෙන ඉන්නවා. ඉන් එක රටක් තමයි ආර්ජන්ටිනාව. මේ ගමනේ දෙවෙනි කොටස වුණේ Argentine Camara research station එකේ තියෙන හමුදා කඳවුරට. එතනදී අපට කේක් සහ හොට් චොක්ලට් ලැබුණා මතකයි.

ඉන්පසු නැවත බෝට්ටුවට නැගලා අපි නැවට ආවා. නැවට ඇතුල් වෙද්දි මුලින් වගේම සපත්තු සෝදාගෙන තමයි උඩට යන්න ඕනේ. ඒ එනකොට කෙටි කෑමක් සමග උණුසුම් පානයක් සහ hot towel එකක් ලැබෙනවා. කාමරයට ගිහින් ඇඳපු ඇඳුම් සහ බුට් හොඳට හෝදලා ගඳ යන්න නාගත්තේ මේක පළවෙනි අත්දැකීම නිසා..... ඊට පස්සේ දවසේ ඉඳලා නම් ඉතින් අපි, පෙන්ගුවින්ලා ඔක්කොම එක සුවඳ.....