රෑ තිස්සේ පාටි සහ පාර්ට් දාපු කට්ටියම නැගිටිනකොට බොහොම එළිවෙලා. උදෑසන කෑමට ආව කට්ටිය ගණන් කරන්න අතෙයි කකුළෙයි ඇඟිලි වැඩිත් තරම්.
උදෑසනත් හරිම අඳුරුයි. වාතයේ උෂ්ණත්වය සෙල්සියස් 3 විදිහට තමයි වාර්තා වුණේ. උදේ අටහමාරට අපි බෝට්ටුවලට නැග්ගේ Deception Island එකේ Telefon Bay බලන්න යන්න.
බෝට්ටුවලට නගින්න ඉන්න වෙලාවේ කියන එක අහගෙන ඉන්නේ නැතිව කෑගගහ ඉන්න අය අද සිල් අරගෙන. තව සමහරු තැඹිලි කෝම්බේ අස්සේ අත හිර වෙච්ච රිලව් වගේ මූණ දිහා කෙලින් නොබල එහෙට මෙහෙට විරව විරව ඉන්නවා. අර තුමීලා ටික නම් මේ ගමනට සහභාගි උනෙත් නෑ. මිගෙල් ආගිය අතක් නැහැ. අනේ ඉතිං එඩුවාර්ඩෝ නම් මොකක් උනත් රස්සාව කරන්න ඕනෙ නිසා බෝට්ටුව අරන් ඇවිත් හිටියා අපිව ගොඩබිමට ගෙනියන්න. ඔන්න ඕකයි කියන්නේ ගූ ගාගන්නවා නම් හෝදගන්න පුළුවන් තැන්වල විතරක් ගාගන්න කියලා.
මේකත් පොඩි කඳු නැගීමක්. මේ කන්ද හැදිලා තියෙන්නේ 1967 පිපිරුණ ගිනි කන්දක අළු වලින්. පස කළුම කළුයි. මඤ්ඤොක්කා දණ්ඩක් දෙකක් ඇන්නා නම් ඊළඟ පාර අල ගලවලා තම්බගෙන කාලා යන්නත් තිබුණා. එක පසෙකින් ගිනි කන්දේ ඉතිරිවුණ ආවාටයේ කොටස් පෙනෙන්න තියෙනවා. ගමනේ මගක් යද්දී වැස්ස එක්ක මීදුම. මීටර දෙක තුනකට වඩා දුරක් ඉදිරියෙන් පෙනෙන්නේ නැහැ. ආපහු හැරෙන්නත් බැහැ කළින් ගිය කිහිපදෙනෙක් මේ වෙනකොට කන්දේ සෑහෙන දුරක් ගිහින්. දූව්ල්ලෙන් හැදුණු පොළව මඩ වෙලා එරෙනවා. ගම්බූට් වලට පින්සිද්ධ වෙන්න කන්ද නැගලා බැස්සා. ඒ අතරෙ ශාරීරික යෝග්‍යතාව මදි අය සහ ශරීරයේ එතනෝල් පරිමාව වැඩි අයව මගපෙන්වන්නන් හතර ගාතෙන් කඳු නග්ගනවා, ඇදගෙන යනවා, තල්ලු කරගෙන යනවා, බිම දිගේ රෝල් කරගෙන යනවා. අපායේ business class එක වගේ. මේ බහුරූ කෝළම් බලාගෙනම අපි ආපහු මුහුදු වෙරළට ආවේ පැය එක හමාරකට විතර පස්සේ. මෙතන මුහුදේ වතුරේ උෂ්ණත්වය වැඩියි ගිණි කන්දේ ක්‍රියාකාරිත්වය නිසා. මෙහෙම කිව්වට ඉතින් උණුදිය උල්පත් වගේ කියලා නම් හිතන්න එපා. අනිත් තැන්වල වතුර සෙල්සියස් එකත් දෙකත් අතර නම් මෙතන වතුර සෙල්සියස් තුනක් හතරක් ඇති වැඩිම වුණොත්. ඒකත් හැම තැනම නෙවෙයි පොඩි පොඩි වලවල් වල.
Drake Passage එක රළු වුණහම ඉතාම දරුණුයි කියන දේ නාවිකයන් සහ මගපෙන්වන්නන් ඉතාම හොඳින් දන්නා දෙයක්. නැව පෙරලෙන තරමට දරුණු කුණාටු මෙහි ඇතිවෙන්න පුළුවන්.
හවස Elephant Point ගොඩ බහින්න හිතුවත් කාළගුණ වෙනස්වීමත් එක්ක මුහුද රළු වුණා. මෙතැන තමයි විශාලම සීල් විශේෂයක් වන Elephant Seal බලන්න තියෙන්නෙ. අපේ මගපෙන්වන කණ්ඩායම මොනවා උණත් වැඩක් ලේසියෙන් අතහරින්නේ නම් නැහැ. එතන ගොඩබහින්න බැරි වුණත් වෙන තැනක් හොයාගෙන අපිව ගොඩ බැස්සුවා. Elephant Seal ලා කිහිපදෙනෙක් ඒ අවට හිටියා. දවසම විට කාගෙන, දත් මදීන්නෙ නැතිව, කබ, හොටු පෙරාගෙන, ගෝරියට ගිහින් ඇඟ පුරාම කැපුම් තුවාල තියෙන සද්දන්ත මදාවියෙක්ව සිහියට ආවා මේ Seal දැක්කහම. සූස්තියක් ගහලා පාවෙවී ඉන්න කෙනෙක් ගේ වගේ ඇස් දෙකක් මෙයාලට තියෙන්නේ.
මේ හැමදේම වැඳපුදාගෙන ආපහු නැවට ඇවිත් නා කියාගෙන ඉන්න අතරෙ දවසේම පෙනෙන්න හිටි නැති කට්ටිය එකා දෙන්නා මතුවෙන්න ගත්තා. රෑ කෑම බාබකියු එකක් නැවේ උඩ තට්ටුවේ එළිමහනේ. මේස හදලා හැමෝටම බ්ලැන්කට් දීලා ලෑස්ති කරලා අපි ගොඩබිමට ගිය වෙලේ. කෑම ලෑස්ති වෙනකන් අපි නැව් තට්ටුවේ සංගීතයට නටන්න ගත්තේ සීතල පොඩ්ඩක් හරි මග හරවා ගන්න. රෑ වෙද්දි මේ නිදහසේ නටපු නැටිල්ල තනිකරම පෝල් ඩාන්සින්ග් වලට හැරුණා. මුහුදේ වෙනස්වීමට අනුලෝමව සමානුපාතිකව අපේ නැටුම් රටාව වෙනස් වුණා. නැව ගිළුනත් බෑන් චූන් කියන්නේ ඔන්න ඕකට. අන්තිම වෙද්දි නැව් තට්ටුවේ මේ කොනේ ඉඳලා එහා කොනට විසිවෙනවා සංගීතේ තාලෙටම. අපි හිතාගෙන ඉන්නවා අපි ලස්සනට නටනවා කියලා. රෑ එකොළහ විතර වෙද්දි මැරතන් එකක් දුවලා ආව එකාගෙ උඩින් වල් අලියෙක් දිව්ව ගානට ඇඟ රිදෙනවා වටේ පිටේ තිබුණ ඒවගේ හැපිලා. ඒ නැටුමෙන් කාරි නෑ කියලා අපි ඔක්කොම කාමර වලට ගියා. සමහර කාමර ළඟින් යද්දි තරඟෙට වගේ එක එක සද්ද ඇහෙනවා..... චණ්ඩි ඔක්කොටම sea sick....